
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොළොන්නරුවේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නිලධාරීන්ගේ කඹ ඇදීමක් හේතුවෙන් වසර පහකට වැඩි කාලයක් තිස්සේ කැලෑ වැදී විනාශ වෙමින් පවතින බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
මෙම ගොඩනැගිලි සංකීර්ණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබ ඇත්තේ රුපියල් කෝටි 101 ක පමණ වියදමිනි. එහි වර්ග අඩි ප්‍රමාණය එක් ලක්ෂ හතළිස් එක්දහසකි.
මෙම ස්ථානයේ වායු සමීකරණ ඇතුළු පහසුකම් නැති හෙයින් ඊට යා නොහැකි බව ආයතන ගණනාවක නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි එම කමිටුවේදී තොරතුරු අනාවරණය වී ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තවත් සමහර ආයතන ප්‍රධානීන් මේ ස්ථානයේ පදිංචියට යෑමට කැමැත්තෙන් සිටියත් මෙතෙක් කිසිවකුගෙන් හෝ ඒ සඳහා උපදෙස් ලැබී නැතැයිද තොරතුරු හෙළිවිය.
මෙම ස්ථානයේ කුලිය වැඩි නිසා පැමිණිය නොහැකි බවට සමහර ප්‍රධානීන් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඒ අවස්ථාවේදී මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම කුලී මුදල් ගෙවන්නේ මහා භාණ්ඩාගාරයෙන් හෙයින් ඒ ගැන ගැටළුවක් ඇති කරගත නොගත යුතු බවයි.
මේ තොරතුරු අනාවරණය වූයේ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (20) රැස්වූ අවස්ථාවේදීය.
එසේම මෙම ගොඩනැගිල්ල ජරාවාස වෙමින් පවතින හෙයින් එය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් පිහිටුවීම සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතත් එම තීරණයද ක්‍රියාත්මක කිරීම නිලධාරීන් මගහැර ඇතැයි කමිටුවේදී තොරතුරු හෙළිවිය.
රාජ්‍ය ආයතන මේ ස්ථානයට පැමිණීමට අකමැති වන්නේ ඇයි දැයි සොයා බලා හැකි ඉක්මනින් වාර්තාවක් සපයන ලෙස කමිටු සභාපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
එසේම සියලු රාජ්‍ය ආයතන මේ ස්ථානයට කැඳවාගෙන විත් මාස හයක කාලයක් ඔවුනට එහි මුදල් අය කර ගැනීමකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් වසරක කාලයක් එහි නඩත්තු ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් ගෙවන ලෙසත් කමිටුව මෙහිදී වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙත්සිරිපාය කියන්නේ මෙත්පල් සිරිසෙන් පාය හෙවත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රාසාදය කියන එකද? යහපාලනයේ කිව්වේ මහින්දගේ නම රාජ්‍ය ආයතන සහ පොදු දේපලට දාන එක වැරැදියි කියලා. ඇයි ඒකම කරේ.
රජයේ තීරණයක් මත ජනතා මුදල් වියදම් කර හදපු ගොඩනැගිල්ලට යන්න බැහැ කියලා රජයේ නිලධාරින්ට කියන්න කිසිම අයිතියක් නැහැ කුලී ගෙවන්න බැරි නම් නොගෙවා සිටීම වෙනමම කාරණයක්.. රජය ගොඩනැගිලි හදා තියෙන්නේ ජනතාවට පහසුකම් සැලසීමට මිස නිලධාරින්ට පහසුකම් සැලසීමට නොවෙයිනේ... ඒ වගේම රජයේ ගොඩනැගිලිවල රජයේ කාර්‍යාල පැවැත්වීම වෙනුවෙන් කුලියක් ගෙවන්න කිසිම වුවමනාවක් නැහැ. එහෙම තීරණයක් අරගෙන තියෙනවා නම් තීරණය ගත්තු මිනිහත් සම්පූර්ණයෙන්ම වැරැදි කරුවෙක් වෙනවා. නිලධාරි මෙහෙම දරදඬු නම් ඔවුන් සේවයෙන් පහකිරීමට නොපමාව කටයුතු කරන්න ඕනෑ. එහෙම එවුන් එක්ක රටක් හදන්නේ කොහොමද? අන්තිමේ බැලුවාම රට අගාධයට වැටෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ නිලධාරි වාදය නිසා කියලා පැහැදිලි වෙනවා...
කොන්ත්‍රාත් කාරයින්ට වැඩක් දෙන්න අරඹන ව්‍යාපෘති සැලසුමක් නැහැ. අවසාන ඉරණම ඕක තමයි. කීපදෙනෙකුගේ සාක්කු පිරෙන්න ඇති. අපි දුප්පත් වෙන්න හේතු පේනවානේ. ඔය මුදලින් කොළඹ නිවාස ටිකක් හදලා බදු දුන්නා නම් නරකද? දැනට ඕකට ගේන්න හදන ආයකන මැසිවිලිල්ලක් නැතිව කරනවනේ...
ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති කමක් දැරුවා කියලා මෙයාට දැන් මතක නැතුව ඇති. නිලධාරීන් පිට වරද පටවා ගැලවෙන්න හදනවා මිසක් තමන්ගේ අඩුපාඩු ගැන හොයන්න කල්පනා කරන්න.. මොවුන් පුරුදු වෙලා නැහැ සිරිසේනගේ සංකල්පයකට වික්‍රමසිංහගේ මග පෙන්වීම යටතේ චතුරිකාගේ උපදෙස් පිට දහම් සමහර විට මේක හදවන්න ඇති කෝටි ගණනින් කොමිස් ගහන්න, එහෙම නැතුව පොලොන්නරුවේ ජනතාවට එහි සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට මේකෙන් වැඩක් නැතුව ඇති...
ඕකට දාන්න තිබුනේ සිරිසේන කියලා, ඕන නම් ඉස්සරහට අදූරදර්ශී කියලා කොටසක් එක්ක...
රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනැවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීම හොඳ කාර්යයක්... මොකද ආයතන නගරයේ සහ බැහැරව තිබෙන බැවින් මහජනතාව අපහසුතාවට පත් වෙනවා. රජයේ කාර්යාල වලින් වියයුතු කාර්යයන් එකම වක්ලක් යටින් කල යුතුයි. ජනතාවගේ කාලය මුදල් එයින් ඉතිරිවෙනවා. රාජ්‍ය නිලධාරීන්ට අවැසි විදියට කටයුතු කිරීමට රජයක් අවශ්‍ය නැත. එමෙන්ම මෙකී සංකීර්ණයේ ආණ්ඩුකාර පළාත් සභා කාර්යාලත් තිබිය යුතුයි..