රුපියල් කෝටි සියයක පමණ වියදමින් ඉදි කරන බව කියන භාවනා මධ්‍යස්ථානයක් කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පැවසීය.

පැවැති රජයේ ප්‍රධානියකු සඳහා ඉදි කළ බව කියන එම මධ්‍යස්ථානයට බදාදා රාත්‍රී තමා එහි යන විට සිවිල් ආරක්ෂක බළකායේ තිදෙනකු සිටි බවත් රාමනායක මහතා පවසයි.

එම ස්ථානයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  ඇතුළු පිරිසක් පැමිණි බව ආරක්ෂාවට සිටි පුද්ගලයෙක් නියෝජ්‍ය ඇමැතිවරයාට කීවේය.

සන්ධාන ආණ්ඩුව පවතිද්දී සිවිල් ආරක්ෂ භටයන් 60ක් පමණ එහි සිටි බවත්, ආණ්ඩු පෙරලියත් සමඟ ඔවුන් නැවැත ගිය බවත්, එහි සියලු අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ සිවිල් ආරක්ෂක බළකාය හරහා බවත් ඔහු කීවේය.

ප්‍රදේශවාසීන් කීවේ පොහොය දිනකටවත් එම ස්ථානයට යෑමට කිසිවකුට ඉඩ නොදෙන බවයි.

එම ස්ථානය ගැන අදහස් දැක්වූ නියොජ්‍ය ඇමැති රාමනායක මහතා මෙසේ ද කීවේය.

‘දැන් කියයි අපි මේ මඩ ගහනවා කියා. වරායේ ගල් පාවිච්චි කර, අධි සුඛෝපභෝගී විදියට මෙය ඉදි කර තියෙනවා. මෙය සැඟවුණු තැනක්. සිවිල් ආරක්ෂක බළකාය වැඩ කරන්නේ. බඩු ගෙනත් තිබෙන්නේ ආණ්ඩුවේ වාහනවල. එක පුද්ගලයකුට හෝ ඔහුගේ හිතවතුන්ට භාවනා කරන්න හැදූ බව ආරංචි වූ නිසයි මෙතැන බලන්න ආවේ. වැරදියට වටහා ගන්න එපා මේ ගැන.

භාවනා කරන තැනක් අති සුඛෝපභෝගීව ඉදි කර තිබෙන්නේ. මෙය අක්කර අටක භූමියක්. වැවක් තිබෙනවා. වරායේ ගල් අල්ලා තිබෙනවා.  

ස්නානය කරන්න පවා හොඳම වර්ගයේ නාන මෙවලම් භාවිත කර තිබෙනවා. මෙය බෞද්ධ දර්ශනයටත් පටහැනියි. භාවනා කරනවට අපි අකුල් හෙලන්නේ නැහැ. මෙවැනි සුපිරි භාවනා මධ්‍යස්ථානයක් මගේ ජීවිතයේ පළමු වැනි වතාවටයි දැක්කේ. මේවා ගැන අවදියෙන් ඉන්නවාට ජනතාවට ස්තුති වන්ත වෙනවා. ‘

ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් කීවේ එම භාවනා මධ්‍යස්ථානයට කිසිවකුට යෑමට ඉඩ නොදෙන නිසා ඒ ගැන කිසිත් නොදන්නා බවයි.