(නිමන්ති රණසිංහ)

පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සමාගමේ ප්‍රධානීන් පස් දෙනාට සිතාසි නිකුත් කරන ලදී.

මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ නඩුවකට අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනමක් සහ සිතාසි නිකුත් වූයේ, නල්ලවත්ත පාර, මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, පින්නවලපිටිය වත්ත, බමුණුවිල, කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, කහතිලගම, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, පහළ ගිරිබාව, ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත සහ කුඩමිටිකුළිය, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර හන්තාන යන අයවලුන්ටය.

මෙය විශාල මුල්‍ය වංචාවක් වන අතර මොවුන් රටින් පිටවීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට නිතීඥ නලින් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළව වංචාවට හසුවූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණීලි ලැබෙමින් පවතින බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.