රුපියල් ලක්ෂ දහයක් වටිනා කොකුං පොතු සහ වල්ලා පට්ටා කිලෝ ග්‍රෑම් හැටක් ගමන් මල්ලක සඟවාගෙන හොංකොං හරහා චීනයට යාමට උත්සහ කළ චීන ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ 38 හැවිරිදිය. ඔවුහු නේවාසික වීසා මත ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මෙරට සමාගමක රැකියා කරන බව රේගුව කියයි.
මොවුහු කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 610 දරණ ගුවන් යානයෙන් හොංකොං හරහා චීනය බලා යාමට අද අළුයම කටුනායකට පැමිණ ඇති බව රේගුව කියයි.
රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් කටුනායකදී කොකුං පොතු අත් අඩංගුවට ගත් දෙවැනි අවස්ථාව මෙය වෙයි.
වල්ලා පට්ටා සහ කොකුං පොතු සඳහා චීනයේ ඉතා හොඳ ඉල්ලුමක් ඇතැයිද, මේවා එරට සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා ගෙන යන බවද රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ යූ.කේ.ඒ.ජී විජයසිංහ මහතා සැකකරුවන්ට රුපියල් විසි දහසක දඩයක් නියම කර එම වල්ලා පට්ටා සහ කොකුං පොතු රාජ සන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු අධ්‍යක්ෂක රෝහිත උඩුවාවල මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක යන මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන කිත්සිරි අතපත්තු, ඇන්ටන් ප්‍රනාන්දු, ප්‍රදීප් ෆොන්සේකා සහ දිමුතු ධනංජනී යන නිලධාරීහු සිදු කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලෙ නම් මේවගේ චීන හොරුන්ට මුළු ලංකාවේම තිබෙන වටිනා දේවල් හූරාගෙන ගෙනයන්නට ඉඩදුන්නා (නි)
සාමාන්‍ය ගුවන් මගියෙකුට නම් මෙච්චර බර භාණ්ඩ තොගයක් ගුවනින් ගෙනයාමට විශාල වියදමක් යනවා. මේ චීන්නු එම අතිරේක මුදල ගෙවුවාද? කොහොම වුණත් බඩුවල වටිනාකම හැටියට දීපු දඩය නම් කොහෙත්ම මදි හිතට. නේවාසික වීසා මත ශ්‍රී ලංකාවේ සිටින මේ චීනුන්ට ආපසු ශ්‍රී ලංකාවට ඇතුළුවීමට වීසා නොදිය යුතුයි. (නි)
මේවා අපනයනය කළාට පොතුවලින් ගස් වවන්න බැරි නිසා එ්කෙන් අපේ රටට හානියක් නැතුව විදේශ විනිමය ලැබෙනවා. රජය මැදිහත් වෙලා මේවා වවල හරි යාන්ත්‍රණයකට අපනයනය කළ හැකිනම් කොපමන හොදද (බ)