(විමුක්ති එස් රුද්‍රිගු)

'ස්විස්කොක්ස් 200’ වෙළෙඳ නාමයෙන් අලෙවි වන සෙලොකොසිබ් මිලිග්‍රෑම් 200 ඖෂධයේ කාණ්ඩ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කර තබන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය රෝහල් සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ.

වෛද්‍ය සැපැයුම් අංශය නිකුත් කරන ලද චක්‍රලේඛනයට අනුව කාණ්ඩ අංක 476CSX004, 476CSX005, 476CSX002 දරණ කාණ්ඩ තුන භාවිතයෙන් ඉවත්කර තැබීමට රෝහල් සහ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ජාතික ඖෂධ ගුණාත්මක සහතික කිරීමේ රසායනාගාරයේ වාර්තා පදනම් කර ගනිමින් 'ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් අනුකාරක සභාව' පසුගිය 17 වැනිදා ගත් තීරණයක් අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මෙම උපදෙස් ලබාදී තිබේ.

'ස්විස්කොක්ස් 200' ඉවත් කර තැබීමට උපදෙස් ලබාදී ඇති කාණ්ඩ තුන වෛද්‍ය සැපයුම් අංශය මගින් සැපැයූ ඒවා නොවන බවද පැවැසෙයි. මෙම තීරණය සම්බන්ධයෙන් සියලුම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට වහාම දැනුම් දී ඇති අතර, සෞඛ්‍ය ලේකම්වරයාගේ 01/2021 දැක්වෙන උපදෙස් මාලාවට අනුකූලව කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ.