(අංජුල මහික වීරරත්න)

 නව තාක්ෂණය භාවිතා කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 පහජ්ජාව මෙගාෆිෂ් කරවල හා උම්බලකඩ නිෂ්පාදනායතනය විසින් මෙම මෙම අපනයනය  කළේය.

ලංකාවේ  නිෂ්පාදනය කෙරෙන කරවල හා උම්බලකඩ ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කරන  පළමු අවස්ථාව ද මෙය වේ.

සාම්ප්‍රදායික කරවල නිෂ්පාදනයේ දී  හිරු එළියෙන්  වේලීම කළත් මෙම නව තාක්ෂණය යටතේ කරවල හා උම්බලකඩ සකසනු ලබන්නේ වායු සමීකරණ පද්ධතියක් ආශ්‍රිතව විජලනය කිරීමේ ක්‍රමවේදයක්  (Air Condition Dehydration) යොදා ගනිමිනි.

මුළුමනින්ම ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න ක්‍රම යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන කරවල හා උම්බලකඩ මිනිස් පරිභෝජනයට ඉතාමත් උචිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කරවල වේලීම සදහා Law Salt ලුණු යොදා ගැනීම, හා මාළුවල අඩංගු තෙල් (Fish Oil) ඉවත් නොවීම වැනි කරුණු නිසා මෙම නව තාක්ෂණය යටතේ වේලන ලද කරවල ගුණාත්මක බවින් ඉහළ මට්ටමක පවතී.

මෙම කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදිත කරවල හා උම්බලකඩ පළමු කන්ටේනරය අපනයනය  කෙරෙන අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගී  වූහ.