(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අන්තර් කාලීන ආණ්ඩුවේ අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පත් කරගන්නා ඕනෑම පුද්ගලයකු සමඟ වැඩ කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) පැවසීය.

බහුතර මන්ත්‍රීවරුන් අගමැති ලෙස පත්කරගනු ලබන්නේ මහින්ද රාජපක්ෂ ද සජිත් ප්‍රේමදාස ද යන්න ප්‍රශ්නයක් නොවන බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා රටෙි අර්බුදය විසඳා ගැනීමට ඕනෑම කෙනකු සමඟ වැඩ කිරීමට සූදානම් බව ද සඳහන් කළේය.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම කථානායකවරයාට බාර දුන් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 8 හි පැවැති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

20 වන සංශෝධනයේ ගුණාංග ඉවත් කොට 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට බල තුලනය කිරීම නව ව්‍යවස්ථාටවි අරමුණ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා එහිදී පැවසීය.