ඇමෙරිකා ජනපති බරක් ඔබාමා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා ඉකුත් මැයි මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබු බවත් එය  වෙසක් සතිය නිසා මඟ හැරී ගිය බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා  ඉන්දියාවේ  ‘‘ ද හින්දු “ පුවත්පතට  පැවසීය.

ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සුදානම් බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තාද පළව තිබූ නමුත් එවැනි සංචාරයක් සිදුවූයේ නැත.මේ හේතුවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සිදුකරන්නට යෙදුණු ප්‍රථම සංචාරය මඟහැරුණු බව හෙතෙම පවසා තිබේ.

“ශ්‍රි ලංකාවේ සිදුවූ දේශපාලන වෙනසත් සමග ශ්‍රී ලංකාව ඉතාම හොදින් ඇමෙරිකාව සමග යහපත් රාජ්‍යතාන්ත්‍රික සබදතා ගොඩනගා ගත්තා.වසර 40 කට පසුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයකු ප්‍රථම වරට දිවයිනට පැමිණියා. ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමගද යහපත් සබඳතාවයක් ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා  කරනවා“යැයි ඔහු එම පුවත්පතට පැවසීය.