1-(6)  

විවිධාංග චරිත රංගනයෙන් සිනමාව, රූපවාහිනිය මෙන්ම වේදිකාව හැඩ කළ ප‍්‍රවීන රංග ශිල්පිනී ඩිලානි අබේවර්ධන වසර දහතුනක් තිස්සේම ලංකාවේ සිටියේ නැහැ. සැමියා සමන් සහ දියණිය මෙන්ම පුතු සමග ඇය පදිංචිව සිටින්නේ ඇමරිකාවේයි. අවුරුදු 13 කට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගිය ඩිලානි හිටි හැටියේම ලංකාවට ඒමට තීරණය කරලා. ඇයි ඇය මේ විදියට හිටි හැටියේම ලංකාවට එන්නේ? මේ ඩිලානි සඳැල්ලට ඒ ගැන කියු විදියයි. 

 

 

 

  •  ඩිලානි කොහොමද ජීවිතේ

ජීවිතය හොඳින් ගෙවිලා යනවා.

 

 

  •  කොහොම ද හොඳින් ගෙවෙන්නෙ?

ලංකාව එක්ක සසඳද්දී නම් ඇමරිකාවේ ගෙවෙන ජීවිතය හරිම කාර්ය බහුලයි. එහි තත්ත්පරයක්වත් නිකරුනේ ඉන්න බැහැ. නමුත් පවුලක් හැටියට එකට සිටිමින් මාත් සමනුත් රැුකියා කරමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් සොයා බලමින් ගෙවෙන කාලය ගැන සතුටුයි.

 

1-(1)

 

 

 

 

  •  ඇයි පසුගිය අවුරුදු 13 ටම ලංකාවට ආවේ නැත්තෙ?

එහෙට ගියාට පස්සෙ එක්කෝ එහේ ඉන්න  ඕනෑ. නැත්නම් ලංකාවෙ ඉන්න  ඕනෑ. ඇමරිකාවේ එක පාදයක්, ලංකාවේ අනෙක් පාදය තියාගෙන ඉන්න බැහැ. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරමින්, එයාලා වර්ධනය වෙන හැටි දකිමින් ගෙවන ජීවිතය ගැන හිතුවා. අනෙක ලංකාවේ දි අපට රංගනය සඳහා නිවාඩු අරගෙන අපට අවකාශය සළසා ගන්න පුළුවනි. එහිදි රැුකියාව එක්ක සෙල්ලම් බැහැ. අනෙක දවසකට x දෙකකට ලංකාවට එන්නත් බැහැනෙ. නිවාඩු ගන්න අමාරුයි. ඒ වගේම මම කවදත් ජීවිතයේ පියවරක් ඉස්සරහට තැබීම මිසක පස්සට ගියේ නැහැ. 

 

 

  •  මොකක්ද ඔබ එහි කරන රැකියාව?

රූපලාවන්‍ය උපදේශකවරියක ලෙස කටයුතු කරනවා.

 

1-(5)

 

 

 

  •  එය ලෝ ප‍්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන බෙදා හරින ආයතනයක් නේද?

සෙපෝරා ආයතනය ලෝ පුරා ශාඛා ඇති ප‍්‍රකට - ආයතනයක්. මම එහි රූපලාවන්‍ය උපදේශකවරියකට අමතරව, වේෂ නිරූපණ ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. 

 

 

  •  ඔබ වෙසෙන්නේ නිව්යෝර්ක් නගරයේයි. නිව්යෝර්ක් නගරය ගැන කොහොමද හිතෙන්නෙ?

සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනා නිව්යෝර්ක් හඳුන් වන්නේ ‘‘නොනිදන නගරය’’ ලෙසයි. විශේෂයෙන්ම අපි ඒ නගරය තෝරා ගන්නේ ලංකාවේ ඇති සියලූ දේ එහිදී දැකගත හැකි නිසයි. පන්සල්, යාළුවෝ, තවත් ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලංකාවේ ආහාරපාන ආදී මේ සියලූ දේ හරි සමීපයි. එතැනින් එහාට එක් - එක් ප‍්‍රාන්තවලට සංචාරය කළාම එකිනෙකට හරිම වෙනස්. පාරිසරික සහ කාලගුණික අත්දැකීම් පවා වෙනස්. නිවාඩුවක් ලද විගස අපි ඒ ඒ පළාත්වල සංචාරය කරනවා.

1-(7)

 

 

 

  •  සැමියා, දියණිය සහ පුතුගේ කටයුතු ගැන කිව්වොත්?

සැමියා නගරයේ ප‍්‍රධාන අවන්හලක රැුකියාව කරනවා. පුතාගෙ වයස අවුරුදු 10 යි. දියණිය සරසවි අධ්‍යාපනය ලබනවා. ඇය රඟපෑමටත් හරි ආසයි.

 

 

  •  ඇයි හිටි හැටියේම ඩිලානි ලංකාවට එන්නෙ?

ප‍්‍රධාන හේතු දෙකක් නිසයි. පසුගිය කාලයේදී මගෙ අම්මා අසනීප වුණා. මම අම්මාව එහි ගෙන්වා ගන්නත් උත්සාහ කළා. ඒත් අසනීප තත්ත්වය නිසා බැරි වුණා. ඉතින් අම්මාව දැක බලා ගැනීම ලොකුම ආසාවයි. ඊළඟ හේතුව වන්නේ දියණිය රඟපෑ ලාල් වීරසිංහගේ ‘‘සිංගා මචං චාලී’’ චිත‍්‍රපටයේ තිරගත වීම් දෙසැම්බර් 30 සිට ඇරඹෙන නිසායි. එහි ප‍්‍රිමියර් එකට සහභාගී වෙන්න  ඕනෑ.

 

1-(8)

 

 

 

  •  මේ ආගමනේ දී ඔබ රඟපෑමට සම්බන්ධ වෙනවද?

සුනිල් ටී. ප‍්‍රනාන්දු මහතාගෙන් ආරාධනා ලැබුණා. නමුත් මෙවර මෙහි රැඳී සිටින්නේ සති තුනයි. නැවත නිවාඩුවක් ලබාගෙන ඇවිත් එහි රඟපෑමට අදහස් කරනවා.

 

 

  •  ලංකාවෙන් දුරස්ව සිටි පසුගිය කාලය ඔබට දැණුනේ කොහොමද?

ඇත්තටම කාලය ගෙවී ගියේ හරි ඉක්මනට. ඒක වෙලාවකට හිතා ගන්නවත් බැහැ. කලාවෙන් ඉවත්ව සිටීම එක පැත්තකින් වේදනාකාරීයි. නමුත් දරුවන්ගෙ දියුණුව ගැන බලා ගොඩාක් සතුටු වෙනවා. 

 

 

  •  ඔබගේ ආදරණීය රසිකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?

ෆේස්බුක් හරහා විශාල රසික පිරිසක් සිටිනවා. ඒ නිසා මගේ ජනප‍්‍රියත්වය පොඞ්ඩක්වත් අඩුවෙලා නැහැ. මා සේවය කරන රූපලාවන්‍ය ආයතනයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පවා මා එක්ක කතා බහ කරනවා. ඉතින් මගේ ආදරය එයාලට පිරිනමන්න කැමතියි.

sandun-01