(සුජිත් හේවාජුලිගේ)

විදේශයන්හි සිට මෙරටට ඊයේ (27) දිනයේදී පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් 100 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය .

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම බරපතළ තත්ත්වයක් යැයි ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අයට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ ඔවුන් මෙරටට පැමිණි පසු කළ පී.සී.ආර් පරීක්ෂණවලදීය.

මේ අතර මෙරටින් කොවිඩ් ආසාදිතයන් දෙලක්ෂ පනස් තුන් දහස් හය සිය දාහත් දෙනෙකු සොයා ගෙන ඇති බවත් ඉන් දෙලක්ෂ දහ අට දහස් නව සිය අනූ හත් දෙනකු මේ දක්වා සුවය ලබා ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොවිඩ් ආසාදනයවීමෙන් හෝ මියගිය පසු කොවිඩ් ආසාදනය වූ බවට තහවුරුවූ මරණ 2944ක් මෙරටින් මේ දක්වා වාර්තාවී ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.

මේ අතර දිවයිනෙන් කොවිඩ් ආසාදිතයන්1867දෙනකු ඊයේ (27) දිනයේදී වාර්තා වී ඇත.මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි.එම සංඛ්‍යාව378කි.

මෙයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 344 දෙනකුද කොළඹ දිස්ත්‍රික්කයෙන් 277දෙනකු ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .