(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ අනාගත  දේශපාලන කටයුතු මෙහෙයවන නායකයින් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ ජනවාරි මාසයේ ආරම්භ කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් මත උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තරුණ නායකයින් ප්‍රකාශයට පත් කරන බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා පැවසීය.

පශ්චාත් කොවීඩ්  සමයට ගැලපෙන ආකාරයෙන් සහ නූතන සමාජ ජාලා ප්‍රචාරක ව්‍යාපාර වලට සමගාමීව තරුණ දේශපාලන නායකයන් හඳුනාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සභාපති වචන අබේවර්ධන මහලේකම් රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම්  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් සිදුකරනු ලබයි.

විශේෂයෙන් අනාගත දේශපාලනයේ ප්‍රමුඛතම ප්‍රචාරණ මාධ්‍ය වන සමාජ ජාල උපරිම වශයෙන් යොදා ගැනීමට හැකි තරුණ නායකත්වයන් කෙරෙහි ඉහත කමිටුවේ වැඩි අවධානයක් යොමුවී තිබිණ.

එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දෙන තරුණ නායකයින් ජනවාරි මාසයේ සිටම පක්ෂ දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.