(සුජිත් හේවාජුලිගේ )

රටේ උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් දිවයිනේ සෑම පවුලක්ම මේ වසරේ මැයි මාසය වනවිට රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව සිටින බව විශේෂ අධ්‍යයනයකදී පෙනී ගියේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

ඒ අනුව අද වනවිට මෙරට සෑම පුද්ගලයකුම පහළොස් ලක්ෂ පනස් හය දහසක ණයකරුවකු බවට පත්ව සිටින්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ අතර 2019 වර්ෂයේ සිට මෙම වර්ෂයේ මැයි මාසය වනවිට පුද්ගලයන් බැංකුවලින් ණය ගැනීම සියයට 50 කින් පමණ වැඩි වී ඇතැයිද එම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇත.

දිවයිනේ සෑම පවුලකම ණය ප්‍රමාණය එම කාලසීමාවේදී( 2019 වර්ෂයේ සිට 2022 මැයි මාසය දක්වා) රුපියල් දාහත් දහස් පහළොස් දහසකින් පමණ වැඩි වී ඇතැයි පවසන මහාචාර්යවරයා දිවයිනේ පුද්ගලයකුගේ ණය ප්‍රමාණය( එම කාලසීමාවේදී) රුපියල් හාර ලක්ෂ හැට හතර දහසකින් පමණ වැඩිවී ඇතැයිද පෙන්වාදුන්නේය.

තවද මේ රටේ සෑම පුද්ගලයකුම 2020 ආරම්භයේ සිට දිනකට රුපියල් 526 කින් ණයකරුවකු වන බව එම අධ්‍යයනයේදී තොරතුරු අනාවරණය වී ඇත.

එසේම විවිධ බදු වර්ග පැනවීම හේතුවෙන් රජය විසින් දිවයිනේ සෑම පුද්ගලයකුගේම ණය ප්‍රමාණය දිනකට රුපියල් 270 කින් පමණ ඉහළ නංවන බව පෙනී යන්නේ යැයි සඳහන් කරන අතුකෝරළ මහතා පෞද්ගලිකව ණය ගන්නා සෑම පුද්ගලයකුම දිනකට රුපියල් 257කින් ණයකරුවකු බවට පත් වන බවද සඳහන් කළේය.

මේ සියලු තොරතුරු අධ්‍යයනය කිරීමේදී සෑම පවුලක්ම දිනකට රුපියල් 2000කට වැඩි මුදලකින් ණයකරුවන් වෙමින් සිටින බව ඔහු අනාවරණය කළේය.

මේ අනුව දිවයිනේ සෑම පුද්ගලයකුම රජය මඟින් දිනකට රුපියල් 1000 කින් ණයකරුවකු බවට පත් කරන අතර තමන් ගන්නා පෞද්ගලික ණය මගින්ද සෑම පවුලක්ම දිනකට තවත් රුපියල් දහසකින් ණයකරුවකු බවට පත් කරන බව පෙනී ගොස් ඇත.