(තරිඳු ජයවර්ධන)
 
උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය නව විෂය නිර්දේශය ගැන යළි සලකා බලන්නැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් ඉල්ලීමක් කළ බව ලංකා ගුරු සංගමය කියයි.
 
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේෂය මෙවර සකස් කර ඇත්තේ තිදෙනකු බවත්, එම විෂය නිර්දේශයෙන් බිහි කරන්නට උත්සාහ කරන්නේ සන්නිවේදකයකු නොව සන්නිවේදන පර්යේෂකයකු බවත්, විෂය නිර්දේශයේ ඇති ඇතැම් කරුණු විශ්ව විද්‍යාලවල උගන්වන කරුණු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
 
කළින් පැවැති විෂය නිර්දේශය සියයට 90ක්ම වෙනස් කර ඇති නිසා ඉගැන්වීම් කරන ගුරුවරු දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද, මෙවර ගුරු මාර්ගෝපදේශ අත්පොත ලැබුණේ උසස් පෙළ පළමු වාරය අවසන් වූ පසුව යැයි ද ස්ටාලින් මහතා කීවේය.
 
මේ අතර උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ගුරුවරුන් සදහා මේ දිනවල පැවැත්වෙන පුහුණු සැසි පැවැත්වේ. අලුත් විෂය නිර්දේශයේ ඇති ගැටළු සහගත තත්ත්වය ගැන ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇති ගුරුවරුන් පිරිසක් අද (10) පැවැති පුහුණු සැසියකදී නැගිට පිටව ගොස් තිබේ.