(අංජුල මහික වීරරත්න)

උපයන විට බදු ගෙවීමේ සීමාව (PAYE Tax)ලබන අයවැයෙන් ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එම බදු සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා කලින් ඉහල දැමූ බව කී ජනාධිපතිවරයා මෙවර අයවැයේදී  එම සීමාවන් තවත් යම් ප්‍රමාණයක් ඉහළ දැමීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

"ඒ හරහා උපයන විට බද්ද සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනවා.  රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශ ආරක්ෂා කිරීමේ වගකීම අපේ ආණ්ඩුවට තිබෙනවා. අපි ඒ වගකීම භාරගෙන සිටිනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ මාලිගාවත්තේ පැවැති ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමිනි.