ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රජ මහා විහාරයේ අභිනව ධාතු මන්දිරය ලබන 25 වැනි දා විවෘත කරන බව කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ කියති. 

ධාතු මන්දිරයේ  ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ අතර ශෛලමය පියගැටපෙළ අනුරාධපුර, පොලොන්නරු හා දඹදෙණි රාජධානි සමයන්හි ආරාමික ගෘහ නිර්මාණ ලක්ෂණ ද, දැවමය ප‍්‍රවේශද්වාරය හා සිවුපළ වහල මහනුවර යුගයේ සම්භාවනීය විහාර නිර්මාණ ලක්ෂණ ද පිළිබිඹු කරයි. නැගෙනහිර පෙනුම ශී‍්‍ර ලංකාවේ චිරසම්භාවිත  ඕලන්ද ගොඩනැගිලි සම්ප‍්‍රදායෙන්  ද, පෞරාණික මකර තොරණකින් අලංකෘත ප‍්‍රවේශද්වාරයකින් ද සමන්විත ය.

ධාතුමන්දිරාභ්‍යන්තරයෙහි ඉදිරිපස කොටස පෞරාණික ආරාමීය ගෘහනිර්මාණ ශිල්පවිධීන්ට අනුව වටිනා දැවයෙන් කරණ ලද සාම්ප‍්‍රදායික නිර්මාණ හා අලංකාරයන්ගෙන් සමන්විත වෙයි. ධාතූන් වහන්සේලා වැඩසිටින ඇතුල් මාලිගය අත්‍යලංකාර හා පෞරාණික ලක්ෂණ සහිත දැවමය ප‍්‍රවේශද්වාරයකින් ශෝබමාන වන අතර එහි ඉහළ සිට පිළිවෙළින් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සම්මාසම්බුද්ධත්වය හා මහාපර්නිර්වාණය දැක්වෙන අලංකාර දැවමය මූර්ති මගින් වන්දනීය අර්ථයන් ඔපවත් වෙයි. උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩවෙසෙන ඇතුළු මාලිගයේ සිවිලිම ස්වර්ණ වර්ණ නෙළුම් මලින් සමලංකෘත ය. ඉන් පිළිබිඹුවන්නේ බුදුසමය උගන්වන ආධ්‍යාත්මික පාරිශුද්ධියේ නිරමල සංකේතමය අර්ථය යි.

සමස්ත අභ්‍යන්තර කොටසෙහි ඇතුල හා පිටත මාලයන්හි ඇතුල් බිත්ති භූමිශ්පර්ශ මුද්‍රාවෙන් සමන්විත බුද්ධ ප‍්‍රතිමා සිය ගණනකින් විසිතුරු ව ස්වර්ණ වර්ණයෙන් බැබළෙයි. අතීතානාගත හා ප‍්‍රත්‍යුත්පන්න සියලූ බුදුවරුන් නියෝජනය වන ලෙස ආශීර්වාද බලයෙන් අතිමහත්යැයි සැළකෙන භූමිශ්පර්ශ මුද්‍රාවෙන් නිරූපිත බුද්ධ ප‍්‍රතිමා මෙම බුදුකුටියෙහි අනුහස් ප‍්‍රබල ව ජනිතවන ලෙස ගෞරවයෙන් තැන්පත් කොට ඇත. 

 ධාතූන් වහන්සේලා වැඩවෙසෙන අත්‍යලංකාර දැවමය මණ්ඩපය සම්භාවනීය සාම්ප‍්‍රදායික ලාංකික ආරාමික කැටයම් කලාවෙන් සමුපශොභිත වන අතර මෙහි ගෞරවයෙන් වන්දනාවට පැමිණෙන දෙවියන් සහිත ශ‍්‍රද්ධාවන්ත ජනීජනයාට බුද්ධගෞරවය උසස් ම ලෙස සිත්හි උපදවා වන්දනාමාන කිරීම පිණිස සකස් වී ඇත.

මෙම පූජාව සඳහා දායකත්වය සුනිල් තිලකවර්ධන මහතා, එම පවුලේ සාමාජිකයන්ගෙනි. වාස්තු විද්‍යාඥ නන්දිකා දෙනිපිටිය මහත්මිය ගෘහ නිර්මාණ ශිල්පිණියයි 

ධාතු මන්දිරය ශාසනයට පූජාකිරීමෙන් අනතුරුව දිනපතා උදේ 6 ට තේවාව පැවැත්වීමට නියමිත ය. සාම්ප‍්‍රදායික හේවිසි ශබ්ද පූජාව සමග උදෑසන බුද්ධ පූජා දානය ඒ සමග පැවැත් වේ. එසේ ම දිනපතා දහවල් 11. 30 ට දිවා තේවාව පැවැත්වීමට නියමිත ය. හේවිසි ශබ්ද පූජාවත් බොහෝ සූපව්‍යඤ්ජන සහිත පූජා දානය ඒ සමග පැවැත් වේ. දිනපතා සවස 6. 30 ට සන්ධ්‍යා තේවාව පැවැත්වීමට නියමිතය.

3257--Finish 3265--Tree--Finish 3271--Finish