
(පාලිත මඩුගල්ලේ)
ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වී පත් වීම ලබා ගැනීමට පුහුණුව ලබමින් සිටි 25 හැවිරිදි උපාධිධාරිනියක මිය ගොස් ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි.
හුන්නස්ගිරියේ රඹුක්පොත පදිංචි පිලිප් නග්මා නමැති යුවතියක මෙලෙස මිය ගොස් ඇත. ඊට අදාළ මරණ පරීක්ෂණය තෙල්දෙණිය රෝහලේදී සිදු කෙරිණි.
උඩදුම්බර පොලිසියේ පොලිස් සැරයන් අබේසිංහ මහතාගේ ( 27139) සාක්ෂි මෙහෙයවීම යටතේ මැදදුම්බර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පී.කේ. අබේරත්න මහතා පැවැත්වූ මරණ පරීක්ෂණයේදී මිය ගිය යුවතියගේ පියා සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසීය.
" මගේ දුව හුන්නස්ගිරිය ශිවනේෂ්වරා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉන් පස්සෙ මඩකලපුව විශ්ව විද්‍යාලයට තේරුණා. උපාධිය ලබා ගැනීමෙන් පසුව ග්‍රාම නිලධාරි විභාගයට පෙනී හිටියා. ග්‍රාම නිලධාරි විභාගය පාස් වෙලා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පත් වීම ලැබුණා. එහිදී පුහුණුව ලබා සිටින කාලයේදී තමයි දුව මිය ගියේ. දුව ගොඩක් දුක් මහන්සි වෙලයි ඉගෙන ගත්තේ. දුව මිය ගිය එක ගැන මමයි මගේ බිරිඳයි ගොඩක් දුක් වෙනවා."
තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.එම්.ආර්. අනුරුද්ධ රත්නායක මහතා පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පවත්වා මොළයේ තිබූ ගෙඩියක් පිපිරී රුධිරය වහනය වීමෙන් මරණය සිදු වී ඇති බව ප්‍රකාශ කළේය.
COMMENTS
උපාධිය සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී වීම. හොඳ වගේම නරක අතට හැරෙන්නට හැකියි. ආපදා පටන් ඉහල තනතුරුවලට යන්න දඟලන්න ඉඩ නැතිද?