එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමේ අරමුණින් ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චි ප්‍රමුඛ ඉරාන නියෝජිත කණ්ඩායම ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පැමිණියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන්නේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේය. සමුළුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, ඉරාන විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත කණ්ඩායම වෙනුවෙන් වෙනමම ආරක්ෂාවක් ලබා දීමට ඇමෙරිකා රජය පියවර ගන්නා බව පැවැසෙයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත කණ්ඩායම මෙසේ ඇමෙරිකාව බලා පැමිණි​යේ, ඇමෙරිකාවත් ඉරාන ඉස්ලාමීය නාවකත්වයත් අතර මත ගැයුම් මෙන්ම යුද උණුසුමක් ද පවතින අවස්ථාවකය.

ඉරාන වැසියන් දිගින් දිලටම මුරණ්ඩු වන්නේ නම් සහ හිතුවක්කාර ලෙස හැසිරෙන්නේ නම්, දිගට හරහට පහර දී ඉරානය ලෝක සිතියමෙන් අතුගා දැමීමට පවා තමන් පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා ඇත.

ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඇමෙරිකාවට ළඟා වූ ඉරාන විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගත් බව මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීමට ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජිතයන්ට අවසර හිමිවුවත්, පලස්තීන පාලන අධිකාරියේ නියෝජිතයන්ට ඇමෙරිකාව බලා පැමිණීමට අවසර ලබා දී නැත.