(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයට බොරතෙල් නිෂ්පාදනයට සහ අලෙවි කිරීමට පනවා තිබූ සම්බාධක ඇමෙරිකාව තාවකාලිකව ඉවත් කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද තවත් පහළ ගියේය.

ලෝක බොරතෙල් වෙළෙඳපොළේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද ඇමෙරිකානු ඩොලර් 73.67 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.54ක් ලෙස සටහන් විය.

ඉරානයට බොරතෙල් නිෂ්පාදනයට සහ ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් බොරතෙල් අලෙවි කිරීමට, ඛනිජ රසායනික හා ඛනිජ තෙල් නිෂ්පාදන ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් අලෙවි කිරීමට ඇමෙරිකාව පනවා තිබූ සම්බාධක දින 60ක කාලයක් සඳහා එළැඹෙන අගෝස්තු 21 වැනිදා දක්වා පුළුල් ලෙස ඉවත්කර ඇත.

සම්බාධක ඉවත්කර ඇති ආකාරයට ඇමෙරිකාවටද ඉරානයෙන් බොරතෙල් මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ. 1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසුව මෙවැනි ආකාරයේ සම්බාධක ඉවත් කිරීමක් සිදුකර ඇත්තේ ප්‍රථම වතාවට බවත් ඉන් දශක ගණනාවක් ඉරානයට පනවා තිබූ පීඩනය ඉවත්වන බවත් පැවැසෙයි.

ගල්ෆ් මුහුදේ සිරවී තිබෙන බොරතෙල් බැරල් මිලියන 67ක් අලෙවි කිරීමට සම්බාධක ඉවත් කිරීමෙන් ඉරානයට හැකියාව ලැබෙන බවත් ඉන් පමණක් ඉරානය ඇමෙරිකානු ඩොලර් බිලියන 8ත් 9ත් අතර ප්‍රමාණයක් අතර ආදායමක් ලැබෙනු ඇති බවත් සඳහන් වේ. සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමෙන් ඉරානයට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක තෙල් අපනයන ආදායමක් ලැබෙනු ඇති බවද පැවැසෙයි.