(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සම්බන්ධ ඉරාන තෙල් නැව් පහකට  ඇමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවලට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය එල්ල කරන ප්‍රහාරයන්ට පිළිතුරු ලෙස ඉරාන තෙල් නැව්වලට මෙම ප්‍රහාරය එල්ල කළ බවද එම මූලස්ථානය පැවැසුවේය.

තෙල් නැව් පහ ප්‍රහාරයෙන් විනාශ වූ බවත් ඉරානය පසුගිය දෙදින තුළ දෙවතාවක් ඇමෙරිකානු යුද නෞකාවලට මිසයිල ප්‍රහාර එල්ල කළ බවත් ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කළේය.

ප්‍රහාරයට ලක්වූ තෙල් නැව් පහෙන් හතරකට ඕමාන් බොක්කේදීද, අනෙක් නෞකාවට ඉරානයේ කර්ග් දූපත ආසන්නයේදීද ප්‍රහාර එල්ල කර ඇති බව එම මූලස්ථානය පැවැසුවේය.

නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට පෙර ඒවායේ කාර්ය මණ්ඩලයට නැව්වලින් ඉවත් වන ලෙස ඇමෙරිකානු හමුදාව දැනුම් දී තිබූ බවද මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කළේය.