නිට්ටඹුව තිහාරියේ කොළඹ- මහනුවර පාරට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හලක සිදුවූ රුපියල් 23 ලක්ෂයක කොල්ලය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවෙන් පැන ගිය පුද්ගලයකු ඇතුළු තිදෙනකු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර දස වසරක් එම ඉන්ධන පිරවුම්හළේ වැඩ කළ සේවකයෙක් ද වෙයි.
පසුගිය 27 වැනිදා දහවල් ඉන්ධන පිරවුම්හලට කඩා වැදුණු කොල්ලකරුවෝ පිරිසක් ගිනි අවි පෙන්වා රුපියල් 22 97 300ක මුදලක් පැහැර ගත්හ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අවිස්සාවේල්ලේ සිටින බවට ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානය සොදිසි කිරීමට ඊයේ (28) විශේෂ පොලිස් කණ්ඩායමක් යවනු ලැබීය.
ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු අනුව පූගොඩ පොලිසියේ හා පූගොඩ විශේෂ කාර්ය බළකා කදවුරේ කණ්ඩායමක් අද (29) පෙරවරු 6.20ට පමණ අවිස්සාවේල්ලේ අකරවිට නම්බිගොඩ නිවසක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
යුද හමුදාවෙන් පැන ගිය 29 හැවිරිදි සෙබළකු සහ ඉහළ බියන්විල පදිංචිකරුවකු වන 31 හැවිරිදි පුද්ගලයෙක් ද එම නිවසේ සිට අත්අඩංගුවට පත් වූහ.
ඔවුන් සන්තකයේ තිබී රුපියල් තුන්ලක්ෂ අසූ දෙදහස් දහයක් ද පොලිසිය සොයාගෙන ඇත.
කොල්ලයට යොදාගත් කාරය ද එම නිවස අසළ නවතා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත. එම කාරය අගෝස්තු 20 වැනිදා කුලියට ගත් වාහනයක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්නකිරීමේදී කොල්ලය සදහා ඔත්තු සැපයූ බව කියන ඉන්ධන පිරවුම්හලේ සේවකයකු ගැන තොරතුරු හෙළි වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය නිට්ටඹුව මාඉඹුලේ පදිංචි ඉන්දන පිරවුම්හල් සේවකයාද (32) අත්අඩංගුවට ගත්තේය.
සැකරකුවන්ගෙන් ලද තොරතුරු අනුව මීගමුවේ සිටින බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ගිය බවත්, එම සැකකරු ගරාජයක් අසළ සිටියදී පොලිසිය එනු දැක යතුරුපැදියකින් පළා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
එම ගරාජය අසළ තිබී යුද හමුදාවේ අංක තහඩු සහිත හයිබ්‍රිඩ් කාරයක් හමුවී ඇති අතර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එය ව්‍යාජ අංක තහඩුවක් බවයි. එය පොලිස් භාරයට ගෙන කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කොබෙයිගනේ පුද්ගලයකුට අයත් එම රථය අගෝස්තු 23 වැනිදා කඩවතදී පැහැරගෙන ඇති බවයි.
කොල්ලය සිදු කළ සැකකරුවෝ ගනේමුල්ල අනුර මාවත අසල ඇති වෙන්දේසි වත්තකට වාහන දෙක ගෙන ගොස් අංක තහඩු මාරු කළ බවට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිසිය එම වත්තේ තිබී අංක තහඩු දෙකක් සොයා ගත්තේය. ඉන් එක් අංක තහඩුවක් කොල්ලයට පැමිණි මොහොතේ කාරයේ සවි කර තිබූ බවටත්, අනෙක් අංක තහඩුව හයිබ්‍රිඩ් වාහනයේ නියම අංක තහඩුව බවටත් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
කොල්ල කෑ මුදල් සැකකරුවන් අතර බෙදා ගෙන ඇතැයි හෙළි වී තිබේ.
මේ සැකකරුවන් තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ බවට මේ වන විට තොරතරු හෙළිවෙමින් තිබෙන බවත්, ඒ ඔස්සේ ද පරීක්ෂණ පැවැත් වෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි පූගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග, පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන, පොලිස් කොස්තාපල්වරුන් වන 1320 තුමාර, 81534 අමරකෝන්, 81867 අමරසිංහ මහත්වරු ද, පූගොඩ එස් ටී එෆ් කදවුරේ පොලිස් පරීක්ෂක මනෝහර මහතා ඇතුළු කණ්ඩායමක් ද කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට සහාය වූහ.
පොලිස්පති එන් කේ ඉලංගකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවෙන් පැන්නා නම් රටින්ද පන්නා දැමිය යුතු කාලයකි මෙය.මොවුන් නිසා මුලු වීරෝධාර, සුවිනීත, කාර්යශුර,පපුවට,විදුලි කම්බි වලට නොව කකුල් දෙකට පමණක් වෙඩිතියන හමුදාව අපකීර්තියට පත්වෙනවා. (නි)
ලංකාවේ අපරාද වෙන සැනින් ඒවා අල්ලා ගැනීම අතින් හොඳ වැඩි දියුණුවක් ලබා තිබෙනවා,ඒ ගැන පොලිසියට මගේ ගෞරවයව නිසැකයෙන්ම ලැබෙනවා,නමුත් මේවා අල්ලල විතරක්මදී, යුද්දය දිනුව වගේ ලංකාවේ අපරාද පිටු දකින්න නිවැරදි යාන්ත්‍රණයක් තිබිය යුතුයි, ඉක්මන් සුදුසු නඩු තීන්දු/දඬුවම් ලබාදීම,සහ මේ වරදකරුවන් යහ මාර්ගයට ගැනීමේ පුන්රුත්ථපන වැඩ සටහන් තිබිය යුතුයි මේ සඳහා ආගමික නායකයන්, පාසල් ගුරුවරුන් ගේ දෙමාපියන්ගේ දීර්ග කාලීන උනන්දුව ඕන (අ)
සෙනරත්, ඔබ සමග මමත් මුළුමනින්ම එකඟ වෙනවා. විය යුතු දේ ඔබ හරියටම කියනවා. දැඩි නීති පමණක්ම මදි. මේක බරපතල සමාජ ප්‍රශ්නයක්. සිටින වරදකරුවන් පුනරුත්තාපනය කරන අතරේ, අලුතින් වරදකරුවන් බිහිවීම හැකිතාක් අඩුකරගැනීමට සැලසුම් සහගත දිගුකාලීන වැඩපිළිවෙලක් සිවිල් සමාජයේ දායකත්වය ඇතුව, නොපමාව රජයෙන් සකස් කළයුතුයි. (නි)
ඊනියා 'රණවිරුවෝ' හැමතැනම... (නි)
මෑතකදී සිදු උන මංකොල්ල රැසක් පොලිසියේ දක්ෂ පරීක්ෂණ නිසාත් තාක්ෂණයේ දියුණුව නිසාත් මහජනතාවගේ සහයෝගය නිසාත් හෙලි කර ගැනීමක්.(නදී)
කමෝන් පොලිස්! (නි)
එහෙම අඩුකරන්නෙ කොහොමද දේසපාලනේ ඉන්නෙම අපරාධකාරයොනෙ, බලන්න පාර්ලිමේන්තුවෙ, ඉතින් කොහොමද මේවා අල්ලන්නෙ, මේ කට්ටිය තව ටික දවසකින් බේරල යවයි. (දී)
ශ්‍රී ලංකා පොලිසිය හරිම ඉහළයි මේ වගේ අපරාධ කාරයින්ව ඇල්ලීම අතින්. ඒත් ඒ වුවමනාව තියෙනවා නම් විතරයි. කුමන හෝ හේතුවක් මත (හේතුව සිතා ගැනීම ඔබට බාරයි) මොන තරම් ලොකු හොරෙක්, වංචාකාරයෙක් ඇඟේ හැපුනත් අල්ලන්නේ නැහැ හේතුව වඩා බරපතල නම්. ( මෙය මගේ අත්දැකීමෙන් කියන්නේ) (නි)
රන්ජන් රාමනායක මහත්මය එදා පාර්ලිමේන්තුවේ කීව කතාව අත්තමයි (දී)
ඔය ප්‍රස්නය ඔහොම වෙනවා කියලා ෆොන්සේකා මහත්තය දැනගෙන හිටියා. ඒක නිසා තමයි එතුමා මුලින්ම කියුවේ හමුදාව සමාජ ගත කරන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනේ කියලා. දැන් පේනවනේ ඒකෙන් රටට වෙලා තියෙන නස්පැත්තියක තරම.(නදී)
හමුදාවෙන් පැනලා ආපු අය තමා ලංකාවේ වැඩියෙන්ම මංකොල්ලවලට සම්බන්ධ වෙන්නේ (නි)