(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

දෙඅත් පිටුපසට කර හා කට ගැට ගසා ඝාතනය කර ඉංගිරියෙ රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ බෑවුමකට වන්නට කැලෑ ප්‍රදේශයක දමා ගොස් ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි අශෝක බණ්ඩාර නමැත්තකු බවට ඔහුගේ ඥාතීන් විසින් හඳුනා ගෙන ඇත.  

මිනුවන්ගොඩ ගල්ලොලුව හරස් පාර පදිංචිව සිටි   කුලී රථ රියදුරකු ලෙස රැකියාව කරන එක් දරු පියෙකි.

ඉකුත් 15 වැනි දින මෙම මළ සිරුර පිළිබඳ ඉංගිරිය පොලිසියට තොරතුරු ලබා දී තිබුණේ මළ සිරුර තිබූ ප්‍රදේශය ආසන්නයේ තැඹිලි වෙළඳාම යෙදුන පුද්ගලයකු ය.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබූ අතර සුදු පාට රෙදි කඩකින් කට ගැටගසා තිබූ බවත් පොලිසිය කියයි.

මළ සිරුර හමු වන විට යට ඇඳුම පමණක් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විදේශගතව සිටින අතර පවුල් ආරවුලක් හේතුවෙන් ඔහු  වෙන්ව ජීවත් ව ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථය ප්‍රසිද්ධ කුලී රථ සමාගම් දෙකක ලියා පදිංචි කර ඒ හරහා ලැබෙන කුලී ගමන් ගොස් ජීවිකාව කරගෙන ගොස් ඇති අතර ඉඳහිට නිවසට යාමට පුරුද්දක් කරගෙන තිබූ බවත් පොලිස් පිළිබඳ අනාවරණය වී ඇත.