(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ සීටී ස්කෑනර් යන්ත‍්‍රය මාසයකට ආසන්න කාලයක සිට ක‍්‍රියා විරහිතව ඇති නිසා රත්නපුර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත‍්‍රික් වල විශාල රෝගීන් පිරිසක් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි මහජනතාව පවසති.

කහවත්ත, බළන්ගොඩ සහ කොළොන්න යන රත්නපුර දිස්ත‍්‍රික්කයේ මූලික රෝහල්වලින් සහ තංගල්ල, වලස්මුල්ල, කඹුරුපිටිය, ආදාපාන යන රෝහල් වලින්ද රත්නපුර ශීක්‍ෂණ මහරෝහලේ සීටී ස්කෑනර් යන්ත‍්‍රය අක‍්‍රීය වු අවස්ථාවල එම රෝහලෙන් ද සීටී පරීක්‍ෂණ ස`දහා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රෝගීන් එවති.

පිළිකා, ආඝාත හෙවත් අංශභාග, හදිසි අනතුරු, ස්නායු ආබාධ සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී සීටී ස්කෑනර් පරීක්‍ෂණ වාර්තා වැදගත් බව වෛද්‍යවරු පවසති. ඇඹිපිටිය රෝහලේ සීටී ස්කෑනර් යන්ත‍්‍රය පසුගිය ජූනි මස 25 දින සිට ක‍්‍රියා විරහිතව පවතී.

මේ සම්බන්‍ධයෙන් රෝහල් බලධාරින්ගෙන් කළ විමසුමකදී ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ සිටී ස්කෑනර් යන්ත‍්‍රය අක‍්‍රීයවි ඇති බව සත්‍යයක් යැයි කීවේ ය. ඇඹිලිපිටිය රෝහලේ සීටී පරීක්‍ෂණ අවශ්‍ය රෝගීන් හම්බන්තොට මහ රෝහලට ගිලන් රථ මගින් යවන බවද රොහල් ප‍්‍රකාශකයා කීවේ ය. ස්කෑනර් ගෙන්වු සමාගම් ඔවුන්ට මුදල් ගෙවීමට ඇති නිසා අලෙවියෙන් පසු සේවාවන් සපයන්නේ නැති බව සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයෝ කියති. ඒ වෙනුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජීව ඉංජිනේරු ඒකක මගින් අලූත්වැඩියා කිරිම් සිදුකරන බවද එම නියෝජිතයෝ කියති.