මත භේදයට හේතුවී ඇති තරුණයකුගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය වාර්තා කිරීමෙහි යෙදී සිටි වාර්තාකරුවන්ගේ සටහන් පොත් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් සැරයන් විසින් අධිකරණයේදීම බලහත්කාරයෙන් පැහැර ගැනීමේ සිද්ධිය ශ්‍රී ලංකා කර්තෘ සංසදය තරයේ හෙළා දකියි.

මෙම මරණයේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රදේශයේ පොදු ජනතාව යුක්තිය උදෙසා උද්ඝෝෂණය කිරීමට පෙළඹී ඇති අතර පොදු ජනතාවගේ අවධානයද ඒ කෙරෙහි යොමුවී තිබේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙද්දීම අධිකරණ සැරයන්වරයා සිදු කළ අත්තනෝමතික ක්‍රියාව වැඩිදුර අවධානයට හේතුවන අතරම කර්තෘ සංසදයට එය අදාළ අධිකාරීන් සමග වෙනමම නිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට හේතුවක්ද වෙයි.

එම ප්‍රාදේශීය වාර්තාකරුවෝ, අධිකරණයේ ඔවුන්ගේ නීත්‍යනුකූල වෘත්තීය සේවයෙහි යෙදී සිටියහ. විනිශ්චයාසනයෙහි සිටි විනිසුරුතුමා කිසිදු අවස්ථාවකදී පුවත්පත් කලාවේදීනට අධිකරණ ශාලාවෙන් පිටවන ලෙස දැනුම් දුන්නේ හෝ අධිකරණ කටයුතු වාර්තා කිරීමෙන් වැළකී සිටින ලෙ දැනුම් දුන්නේ හෝ නැතුවාක් මෙන්ම අධිකරණ කටයුතු වාර්තා කිරීමෙන් පුවත්පත් කලාවේදීන් වළක්වන සංඥාවක් හෝ නොවීය.

සටහන් පොත්වලින් සමහරක් අදාළ පිටු ඉරා ඉවත් කරනු ලැබ පසුව ආපසු එවන ලදි. තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණ සැරයන්වරයාගේ සාවද්‍ය කාර්යයට සම්බන්ධ වන හෙයින් ඔහු ඒ අවස්ථාවේදී ද අධිකරණයෙහි සිට උසස් නිලධාරීන්ගේ නියෝග මත ක්‍රියාත්මක වන්නට ඇතැයි අපි විශ්වාස කරමු.

එම සිද්ධීයෙන් මාධ්‍ය නිදහසටත් ස්වකීය වෘත්තීය ක්‍රියාත්මක කිරීම සඳහා පුවත්පත් කලාවේදීනට හිමි ව්‍යවස්ථානුගත අයිතිවාසිකම්වලට හා පොදු ජනතාවගේ පුළුල් උනන්දුවට හේතු වුණු ප්‍රසිද්ධ නඩු විභාගයක් සම්බන්ධ තොරතුරු දැන ගැනීමට පුරවැසියන්ට ඇති අයිතියටත් ඍජුවම බාධා එල්ල වන හෙයින් ඒ පිළීබඳව කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස කර්තෘ සංසදය රජයෙන් ඉල්ලා සිටියි.