ඇඹිලිපිටි නගරයේ සාදයකදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී විජිත පුංචිහේවා මහතාගේ නිවසේ නාමපුවරුවට සඳුදා (08) රාත්‍රී ගල් ගසා කඩා දැමා ඇතැයි ඒ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.

එය තමාට පමණක් නොව නඩුවේ සාක්කිකරුවනට ද එල්ල කළ තර්ජනයක් බව ද නීතීඥවරයා ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරීට ලිඛිතව දන්වා තිබේ.

කඩා දැමුණු නාම පුවරුව පිහිටියේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට දිසා අධිකරණය වෙතට විහිදෙන පාරේය.

සුමිත්ගේ මරණය සම්බන්ධයෙන් සැක කරන විශාල පිරිසක් පොලිසියේ සිටින බවත්, නාම පුවරුව කඩා දැමුවේ ඔවුන්ගෙන් කෙනකුදැයි සැක සහිත බවත්, නඩුවේ අගතියට පත් පාර්ශ්නය වෙනුවෙන් කතා කරන නීතීඥවරුන්ගේ ආරක්ෂාව ද අනතුරුදායක තත්ත්වයකට පත් වී ඇති බවත් පුංචිහේවා මහතා කළ පැමිණිල්ලේ සඳහන් ය.

වසර 23ක පමණ කාලයක් නීතීඥවරයකු ලෙස ද වසර දහයක් පමණ නාගරික මන්ත්‍රීවරයකු ලෙස ද තමා කටයුතු කර ඇති බව ද, තමා දුම් පානය කරද්දී ඇඹිලිපිටි හිටපු සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට ගෙන තමාට එරෙහිව නඩු පවරා ඇතැයි බොරු ප්‍රචාරයක් ගෙන යන බව ද, මේ බොරු ප්‍රචාරවලට හේතුව ඇඹිලිපිටිය මෙන්ඩිස් ගොඩනැගිල්ලේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය තරුණයාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම යැයි ද නීතීඥ පුංචිහේවා කියා ඇත.

නීතීඥවරයා වැඩිදුරටත් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ තම ජීවිතාආරක්ෂාව පතා මෙම පැමිණිල්ල විභාග කර සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

680005