(ක.ග.කරුණාරත්න)

බලපත‍්‍රයක් නොමැතිව වස්ගමුව ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුලුවී එහි රැඳී සිටි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු දෙදෙනෙක් හිමිනමක් ඇතුළු වග උත්තරකරුවෝ 28 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  අවස්ථාවේ සැකකරුවන් අදාල චෝදනාවලට වරද පිළිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 420,000ක දඩ මුදලක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත‍්‍රාත් අසේලද සිල්වා මහතා අද(28) නියෝග කළේය.
 
මෙසේ දඩ නියම වූයේ දෙහිඅත්තකණ්ඩිය සහ දිඹුලාගල ප‍්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත‍්‍රීවරු දෙදෙනෙකු සහ දෙහිඅත්තකණ්ඩිය, නුවරගල ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයෙක වැඩ වසන හිමිනමක් ඇතුළු වග උත්තරකරුවෝ 28 දෙනෙකුටය.
 
සැකකරුවන් ජාතික වනෝද්‍යානය තුළට නීති විරෝධී ලෙස ඇතුළුවී  ඇත්තේ දිවයින පුරාම ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙමින් පැවැති දිනයෙක, ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිද උල්ලංඝනය කරමින් බව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් වනජීවී නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.
 
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ  වනසත්ව  අඩවි ආරක්‍ෂක නිලධාරී ජී.එම්.චින්තක බණ්ඩාර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින්  පැමිණිල්ල මෙහෙයැවීය.