(අංජුල මහික වීරරත්න)

මේ වනවිට රටේ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම් වල බලපෑම නිසා ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (4)පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම කළේය. පසුගිය දිනවල පැවැති දැඩි නියඟය නිසා වී වගා කළ අක්කර 70,000ක් පමණ විනාශ වී ඇති අතර දැනට පළාත් කිහිපයකට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා අස්වනු නෙලීමට ආසන්නව තිබූ අක්කර සිය ගණනක වී වගා විනාශ වී ඇතැයි අමාත්‍යවරයා කීය.

පහතරට එළවළු වගාවන් ද මේ වනවිට වර්ෂාව නිසා විනාශ වී ගොස් ඇතැයි ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කර තිබු අක්කර 15,000ක පමණ මුං ඇට වගාවන් ද මුළුමනින්ම විනාශව ගොස් ඇති අතර රටේ සමස්ත මුං ඇට අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ මෙම වගාවෙන් ලබා ගැනීමට හැකිව තිබූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව අවධාරණය කළ අමාත්‍යවරයා හැකි පමණින් ගෙවතුවල එළවළු වගා කිරීමේ වැඩ පිළිවෙළක් හා මෙවර මහ කන්නයේ ආහාර බෝග වගා සැලැස්මක් වහාම ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.