(මනෝප්‍රිය ගුණසේකර)

බදු මුදල් නොගෙවා ආනයනය කළ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ ලියාපදිංචි කිරීම ව්‍යාජ තොරතුරු දෙපාර්තමෙන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දෙපාර්තමෙන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක” සහකාර අධ්‍යක්ෂකවරයකු ඇතුළු නිලධාරින් සිව්දෙනෙකු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදගරම මහතා අද නියෝග කළේය.

සිද්ධියට අදාළව ආරම්භ කළ විමර්ශන කටයුතු තවම අවසන් කර නැතැයි කියමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීම් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිදුකරනු ලබන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන පාලක්‍රිෂ්නන් සංජීවනී.

එහි තොරතුරු හා සන්වේදන තාක්‍ෂණ අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂක වාසල ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම.

හිටපු ලිපිකරුවකු වන ධම්මික නිරෝෂන් සහ එහි සංවර්ධන අංශයේ විමර්ශන හා සංවර්ධන සහකාර නයනා කුමුදුනී ලේකම්ගේ නමැත්තන්ය.

සිද්ධීන් වලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධීන් වලට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු අල්ලස් කොමිසමට ලැබුණු පැමිණීලි වලට අනුව කළ විමර්ශන වලින් අනතුරුව සිද්ධීන් වලට අදාළව වැඩිදුර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොමිසමට කැඳවනු ලැබු සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව චෝදනා කියවා දී ඔවුන් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්හ.

බදු මුදල් නොගෙවා ආනයනය කළ මෝටර් වාහන හතරක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ තොරතුරු හා සන්වේදන තාක්‍ෂණ අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂක වාසල ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම නමැත්තා අත්අඩංගුවට ගත් බවත් අදාළ වාහන සම්බන්ධයෙන් ව්‍යාජ කොරතුරු දෙපාර්තමෙන්තුවේ පරිගණක පද්ධතියට ඇතුල් කිරීම සම්බන්ධයෙන් එහි හිටපු ලිපිකරුවකු වන ධම්මික නිරෝෂන් නමැත්තා අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසමේ නිලධාරීහු දැනුම් දුන්හ.