(ඩයනා උදයංගනී)

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ලක්‍ෂ දෙකක පමණ මේ වන විට ආයුර්වේද වෛද්‍ය සේවා ලබා දී ඇතැයි, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය.

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 1300ක් පමණ දිවා රාත්‍රී නොබලා නිවෙස්ගත කොවිඩ් රෝගීන් වෙත සේවා සැපයීමේ කටයුතුවල යෙදී සිටින බව ද ලේකම්වරිය සඳහන් කළාය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේද භාවිතා කළ නිවෙස්ගතව සිටි රෝගීන්ගෙන් රෝහල්ගත කිරීමට සිදුවූයේ ඉතා අඩු රෝගීන් ප්‍රමාණයක් බව ද ඇය කීවාය.

ලේකම්වරිය මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කොවිඩ් රෝගියෙක් ගැන වාර්තා වුවහොත් ආයුර්වේද ප්‍රජා වෛද්‍යවරුන් එදිනම ගොස් ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබාදීම සිදුකරන බව ද කුමාරි වීරසේකර මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම පාසල් ආරම්භ කළ පසුව ද ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීන් පාසල් වෙත ගොස් ආරක්‍ෂා විය යුතු ආකාරය පිළිබඳව දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද ලේකම්වරිය කීවාය.

ආයුර්වේද කොමසාරිස්, ආචාර්ය එම්. ඩී. ජේ. අබේගුණවර්ධන මහතා මෙහිදී පැවසුවේ කොවිඩ් වසංගතය සමඟ දේශීය වෙදකම ගැන වැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බවයි.

මේ වන විට ආයුර්වේද රෝහල්වල ඇඳන් 1555 ක් කොවිඩ් රෝගීන්ට වෙන්කර තිබෙන බව කී කොමසාරිස්වරයා බටහිර වෛද්‍යවරුන්ගේද මගපෙන්වීම, අධීක්‍ෂණය යටතේ කොවිඩ් රෝගී ප්‍රතිකාර කටයුතු කරගෙන යන බවත්, දෙපැත්තකට වී ඉන්නවාට වඩා වෛද්‍යවරු ඒකාබද්ධ වී කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බවත් පැවසීය.