(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී.- 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් අද (7) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ළගා විය.

මෙම ගුවන් යානය තුළ ඇමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයෝ 60 දෙනෙක් ද පැමිණ සිටියහ.

තායිලන්තයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කදවුරක සිට මෙසේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානා කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට අනුරාධපුරය , යාපනය ආදී ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහන පහසුකම් සැළසීමට නියමිතය.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන , වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.