(තිළිණි ද සිල්වා)

තමා බලයට පත් කළ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට රැකියා ලබා දීම අපරාධයක් නම් තමා එය පිළිගැනීමට සූදානම් යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද (24) සාක්කි දෙමින් පැවසීය.

අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාර්ග සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී  මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56 ක්ද , මහජන සම්බන්ධතා නිලධාරීන් 94 ක්ද නීතියට පටහැනි ලෙසින් ගෙන ඇතැයි කියමින් එම කොමිසමට ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සාක්කි දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මහාමාර්ග අමාත්‍යවරයා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ එවැනිම පත්වීම් ලබා දී ඇති බවත් තමාද එවැනිම ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් පත්වීම් ලබා දෙන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බවය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වැරදි සෙවීමට පත් කළ මෙම කොමිසන් සභාවට තමා ගරු කරන බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී මෙවැනි පත්වීම් දීම පිළිබඳ කවුරුත් සොයා නොබැලූ බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී වැඩිදුරටත් කීය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , එහි කොමසාරිස්වරුන් වන විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජින කුසලා වීරවර්ධන ,විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ සහ  විශ‍්‍රාමලත් විගණන අධ්‍යක්ෂකවරයෙකු වන පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්ම මහත්මීන් හමුවේ මෙම සාක්කි ලබා ගැනීම සිදු කෙරිණි.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් අමාත්‍යවරයා මෙසේද කීය.

”රාජපක්ෂ මහතා ඒ හා සමාන පත්වීම් ලබා දී ඇති බව මගේ නිලධාරීන් මට දැනුම් දුන්නා. ඔහු ජනාධිපති සහ මුදල් ඇමති යන දෙදෙනාම බැවින් ඔහු බාහිර ක‍්‍රියා පටිපාටියට පිටින් දෙයක් සිදු කරනු ඇතැයි මම හිතුවේ නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා කළ දේ හරියටම කරන ලෙස මම මගේ නිලධාරීන්ට උපදෙස් දුන්නා.එම රැකියා ලබා දුන්නේ මාර්ග ව්‍යාපෘති වලට නැගෙන ජනතා විරෝධයන් සාකච්ඡා මාර්ගයෙන් විසඳීමටයි.

ඒ වගේම රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී ලබා දුන්  පත්වීම් නීති විරෝධී වන්නේ නැහැ.ඔහු කළ පත්වීම් පිළිබඳවත් මා ලබා දුන් පත්වීම් පිළිබඳවත් විගණකාධිපතිවරයා කිසිදු විමසීමක් කරලා නැහැ.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට පමණක් ප‍්‍රශ්නයක් මතු කළ හැකිය. මා කළ මෙම පත්වීම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න මතු කර ඇත්තේ කෝප් කමිටුව පමණයි.

මේ කෝප් කමිටුව කියන්නේ දේශපාලන වේදිකාවක්. විගණකාධිපතිවරයා මගේ පත්වීම් පිළිබඳව කිසිදු ප‍්‍රශ්නයක් මතු කර නොතිබීම හරහා මාර්ග සංවර්ධන අධිකාරිය  වෙත සිදු කළ මෙම පත්වීම් නීත්‍යානුකූල වනවා.

මධ්‍යම පළාතේ මන්ත‍්‍රීවරයකු මාර්ග සංවර්ධන අමාත්‍ය ධූරය බාර ගත්  පළමු අවස්ථාවයි.එමඟින් මෙම ප‍්‍රදේශයේ බොහෝ මාර්ග ඉදි කළා.එම ප‍්‍රදේශ වල මාර්ග ඉදිකරන විට ඉන් පීඩාවට පත් වූවන් එම මාර්ග ඉදිකිරීම් වලට විරුද්ධ වෙනවා.

මේවායින්  බොහෝ ගැටළු ඇති වුණා. මධ්‍යම පළාතේ මාර්ග ඉදිකිරීමේදී  ගැටළු මගහරවා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ  සාමාජිකයින් කිහිප දෙනෙකු මහජන සම්බන්ධතා නිලධාරීන් ලෙස බඳවා ගැනීමට මම නිර්දේශ කළා.

කෙසේ වෙතත් මෙම බඳවා ගැනීම් කිරීමෙන් රුපියල් මිලියන 62.87 මුදලක් රජයට පාඩු වුණා යැයි කියන චෝදනාව මා ප‍්‍රතික්ෂේප කරනවා. ඒවගේ මේ පත්වීම් කළමනාකරණ සේවා චක‍්‍රලේඛන උල්ලංඝණය කරමින් සිදු කළ ඒවා නොවෙයි.මේවා සිදු කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ගෝපදේශයන්ට අනුවයි.

ඒ වගේම් කිසියම් කාර්යයක් සම්පූර්ණ කිරීම සඳහා පුද්ගලයින් පත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට බලය තියෙනවා මේවා ස්ථිර බඳවා ගැනීම් නොවේ. ඔවුන්ගේ කාර්යය අවසන් කිරීමෙන් පසු එම තනතුරෙන් ඉවත් කළ හැකියි. මෙය කිරීමට අමාත්‍යවරයාට බලය තියෙනවා" යැයි ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමෙන් පසුව කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ වැරැද්දක් වූවා නම් ඒවා පූර්වාදර්ශයට ගෙන කටයුතු කිරීම වරදක් බවත් ඇමතිවරුන් කටයුතු කළ යුත්තේ නීතියට අනුකූලව යැයි පෙන්වා දුන්නේය.

අදාළ පැමිණිල්ල පිළිබඳ විභාගය පසුවට කල් තැබිණි.