(ඔගස්ටින් ප්‍රනාන්දු)

ආඬිගම නගරයට ආසන්නව  පිහිටි ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂක කලාපයට අයත් භූමියට නීතිවිරෝධීව ඇතුළු වූ කණ්ඩායමක්  එහි බලහත්කාරයෙන් පොල් පැළ සිටුවමින් එම භූමිය සතු කරගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති.

මෙම කණ්ඩායම පසුගියදා ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කළ කල්ලියට හිතවත් පිරිසක් බවත්, පසුගිය මහා මැතිවරණයේ දි මොවුන් එක් අපේක්ෂකයෙකුගේ ජය පතා කැපවීමකින්  කටයුතු කළ පිරිසක් බවත්,  මැතිවරණයෙන් ජය ලද පසු  එම සහයෙන් තමන් මෙම ව්‍යාපාරය ආරම්භ කළේ  එම වන රක්ෂිතය අත්පත් කර ගැනීමට යැයි එම පිරිස පැවසූ බවත් ගම්වාසීහු සඳහන් කරති.

මෙම අපරාධය නවතන ලෙස තමන් ඉල්ලා ඇතත් දේශපාලන බලපෑම මත ඔවුන් පොල් පැළ සිටුවන බවත්, එම භූමිය සතු කරගන්නා බවට ඔවුන් තමන්ට තර්ජන පවා එල්ල කරන බවත් ගම්වාසීහු කියති.

මෙම වැව අක්කර 10ක් පමණ විශාලය.  ඒ ජලයෙන් අක්කර 45 පමණ කුඹුරු යායක් වගා කෙරේ. වැවේ පෝෂක කලාපයෙහි  මෙසේ අනවසරයෙන් පොල් පැළ සිටුවා, වැව පස් පුරවා ගොඩකිරීමට තැත්කරමින් ඔවුන් සිටින බවත්,  මේ වන විට පිටතින් ගෙනා  පස් එහි දමා ගොස් ඇති බවත්, ඒ මගින්  වැවට යම් හානියක් ඇති විය හැකි බවත්, තමන් මේ සම්බන්ධයෙන් ගොවිජන නිලධාරින් දැනුවත් කර ඇති බවත් ජනතාව කියති.

මේ සම්බන්ධයෙන් විමසු විට පුත්තලම සහකාර ගොවිජන සේවා නිලධාරි එස්.පාලිත සේනාධිර මහතා කියාසිටියේ, කිසියම් වැව් රක්ෂිතයකට නීතිවිරෝධිව ඇතුළු වී, එහි ඇති ගහ කොළ විනාශ කරමින් එහි වෙනත් වගාවක් කිරීම සම්පූර්ණයෙන් නීතිවිරෝධි කාර්යයක් බවය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තමන් දැනුවත් කළ අතර, එහි ගොස්  පරීක්ෂණයක් කර වාර්තාවක් එවන ලෙස නිලධාරීන්ට දැනුම් දුන් බවත්, වැව් රක්ෂිතයට යම් හානියක් කර ඇත්නම් එම හානිය ගැන සොයාබලන ලෙසත්, ඊට එකඟ නොවන්නේ නම් අදාළ පුද්ගලයන්ට අධිකරණයේ නඩු පවරා දඬුවම් ලබා දෙන බවත් පුත්තලම සහකාර ගොවිජන සේවා නිලධාරීවරයා පැවසීය.