(යොහාන් භාසුර)

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට ආණ්ඩු පක්ෂයට වෙන් වන කාලයෙන් සියයට 5 ක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එකඟත්වය පළ කර බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට කිසියම් කාලයක් වෙන් කර දෙන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ  කාරක සභාවට යෝජනා කළ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව රැස්වන කාලය පැය භාගයකින් දීර්ඝ කර එම කාලයෙන් සියයට 50 ක් ද විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන්ට ලබාදීමට ද තීරණය කළ බවත් වීරවංශ මහතා කීය.

ඊට අමතරව සුදුසු පරිදි විපක්ෂයට හිමි කාලයෙන් ද යම් ප්‍රමාණයක් විපක්‍ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන් සඳහා වෙන්වනු ඇති බව ද වීරවංශ මහතා වැඩි දුරටත් කීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ  කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පැවැත්විණි.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගෙන සිටින ‘උත්තර ලංකා සභාගය’ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට, ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට නියමිත කාලයක් මීට පෙර වෙන්ව නොතිබුණි.