(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුවට එරෙහි යන ස්ථාවරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120 ක් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය.

ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරු 113 ක් එකතු කරන තෙක් ඉවසන ලෙස සමඟි ජන බලවේගයෙන් ඉල්ලා සිටි බවත් මේ වන විට මන්ත්‍රීවරු 113 වෙනුවට මන්ත්‍රීවරු 120 ක් සිටින බවත් ගම්මන්පිල මහතා කීය.

ආණ්ඩවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරු 39 ට 65 ක් එකතු වුණාම මන්ත්‍රීවරු 104 ක් වූ බවත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආණ්ඩුවට ලිපියක් යොමු කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 ත් සමඟ මන්ත්‍රී එකතුව 114 ක් බවට පත්වූ බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ආණ්ඩුවට 20 වැනි සංශෝධනයේදී සහයෝගය දැක්වූ මුස්ලිම් මන්ත්‍රීවරු තුනක් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ සමස්ත මන්ත්‍රීවරු සංඛ්‍යාව 117 ක් වූ බව කී ගම්මන්පිල මහතා සදහන් කළේ නාලක ගොඩහේවා ඇමතිවරයා, ඩලස් අලහප්පෙරුම සහ චරිත හේරත් යන මන්ත්‍රීවරු ද අන්තර් පාලනයක් ඉල්ලා තිබීම නිසා ඔවුන් සමඟ මන්ත්‍රීවරු 120 ක් සිටින බවත්ය.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ අද (25) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.