(අංජුල මහික වීරරත්න)

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත.

මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3 ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි මට්ටමක පවතී.

මෙම මත විමසුම සඳහා දත්ත එකතු කිරීම වැන්ගාඩ් සර්වේ (Vanguard Survey (Pvt) Ltd) ආයතනය විසින් කරන ලදී.

ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන පිරිසෙහි ප්‍රතිශතය අඩු මට්ටමක පවතී. එය මීට පෙර 2025 පෙබරවාරි මාසයේ පැවති අගයෙන් වෙනස් වී නැත.

මෙම මත විමසුමේ සිව් වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, පවතින ආර්ථික තත්ත්වය "යහපත්" හෝ "විශිෂ්ට" ලෙස ඇගයූ පිරිස, එය "දුර්වල" ලෙස ඇගයූ පිරිස ඉක්මවා ගොස් ඇත. ජනතාව, රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව වඩා සුබවාදී මතයක් දැරීම ද මෙවර දක්නට ලැබේ. ආර්ථිකය "යහපත් වෙමින් පවතින බව" පැවසූ පිරිස වසරකට පෙර පැවති 55% ක අගයේ සිට 64% දක්වා ඉහළ ගොස් ඇත. ආර්ථිකය "නරක අතට හැරෙන බව" පැවසූ පිරිසෙහි වෙනසක් සිදු වී නැති අතර ඒ පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති පිරිස අඩු වී ඇත. ආර්ථිකය පිළිබඳ පවතින සියලුම ආකල්ප සෘණ (-) 100 සිට ධන (+) 100 දක්වා පරාසයක විහිදෙන “ආර්ථික විශ්වසනීය දර්ශකයක්” ලෙස ඒකරාශී කර ඇත. මීට වසරකට පෙර +14 ක් ලෙස සටහන් වූ මෙම දර්ශකය මෙවර +36 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඉතා විශාල වර්ධනයකි.

මීට අමතරව, ජනතාවගෙන් බහුතරයක් (59%) වර්තමානයේ රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් බව ප්‍රකාශ කර ඇත.