(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව තුළ ඇති වංචාව, දූෂණය සහ උද්දච්චකම හේතුවෙන් ගැටලු නිර්මාණය කරගැනීමෙන් රට දරුණු අර්බුදයකට වැටී ඇති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (17) පැවසීය.

‘මහජන හඬ‘ සංවිධානයේ නියෝජිතයන් බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජිතයන් ඇතුළු වාමාංෂික පක්‍ෂ නියෝජිතයන් අද (17) හමුවූ අවස්ථාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.  

ශ්‍රී ලංකාව රටක් ලෙස අද වන විට ඉතාම දරුණු ප්‍රශ්නයකට මුහුණ දී සිටින අතර විදුලිය කප්පාදු කිරීමට සිදුවේ යැයි බලශක්ති අමාත්‍යවරයා කළ බරපතල ප්‍රකාශයක් සමඟ අර්බුදයේ දැඩි බව තවත් ප්‍රදර්ශනය වූ බවත් ඒ මහතා කීය.

මැදපෙරදිග යුද්ධය පිට දමා ආණ්ඩුවට සියලුම දෙයින් ගැලවිය නොහැකි අතර ගල් අඟුරු ප්‍රශ්න හේතුවෙන් ඩීසල් භාවිතයෙන් විදුලි නිෂ්පාදනය කිරීමට සිදුවන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විදුලිබල ගැටලුව සහ ගල් අගුරු වංචාව අතර පැහැදිළි සම්බන්ධතාවක් ඇති බව ද සඳහන් කළේය.
යුද්ධයත් සමඟ ඇති වූ ගැටලුවලට වෙනත් රටවල් යම් යම් පියවර ගත්ත ද ශ්‍රී ලංකා ආණ්ඩුව එවැනි පියවර ගැනීමට අපොහොසත් වූ බවත් ආණ්ඩුව පෝලිම් නැති කරන්න යැයි ගෙනආ කිව්ආර් එකත් සමඟ පෝලිම් දිගු වූ බවත් ඒ මහතා කීය.

ආණ්ඩුවේ කළමණාකාරිත්වයේ ඇති දුර්වලතාව වර්තමාන ගැටලුවලට ප්‍රධාන හේතුව බව කී ඒ මහතා ආණ්ඩුව ගැටලුවලට පැලැස්තර විසදුම්දීමත් සමඟ තවත් ගැටලු නිර්මාණය වන බව ද සඳහන් කළේය.

කිව්ආර් ක්‍රමවේදය නැවත ගෙන ඒම ප්‍රමාදවීමට හේතුව එහි ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ බලශක්ති ඇමති කාංචන විජේසේකරට ගෞරවය ලැබීම පිළිබඳව තිබූ ගැටලුව බවත් යුද්ධයත් සමඟ ගැටලු මතුවීමත් සමඟ පළමුවෙන්ම බංග්ලාදේශය නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය ගෙන ආ අතර පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් නියමිත වේලාවට අංග සම්පූර්ණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ බවත් ජී. එල්. පීරිස් මහතා පැවසීය.

දීර්ඝ ඉතිහාසයක් ඇති පක්‍ෂයක් වන කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන පක්‍ෂ ආණ්ඩුවේ ක්‍රියාකළාපයට එරෙහිව එකතුවී්ම වඩාත් වැඳගත් බවත් ආණ්ඩුවේ මර්දනය හමුවේ ජනතාව වෙනුවෙන් විපක්‍ෂය එක්ව කටයුතු කිරීම වඩාත් වැඳගත් බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.