(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රුපියල්   කෝටි 100ක්  වෙන් කර  ඇති බවත් අදාළ යන්ත්‍රෝපකරණ දකුණු සහ උතුරු පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමකදී අදහස් දක්වමින්   අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමුපකාර සමිතිවලට වී වේලන යන්ත්‍ර ලබා‍ දීම සඳහා රුපියල්  මිලියන 500ක ව්‍යාපෘතියක් සහ නිෂ්පාදන සමුපකාර සඳහා නිෂ්පාදන සහ ඇසුරුම් යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමට රු. මිලියන 100ක ව්‍යාපෘතියක්  මේ වසරේ ක්‍රියාත්මක බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. එසේම, වී, සහල් බවට පත් කිරීම සහ අල මිල දී ගැනීමේ ක්‍රියාවලියට සමූපකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී ඇති බවත්, අල කිලෝ ග්‍රෑම් 1 ක් රු. 220 ක මුදලකට මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස ආයතනය හරහා ඒවා විකිණීම සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම, සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් ‍ආනයනය කළ අප්‍රේල් මාසය තුළ සහල් මෙට්‍රික් ටොන් 120,000 ක් ආනයනය කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් පමණක් නැවත සහල් ආනයනය පිළිබඳව සලකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඇතැම් සමූපකාර සමිතිවල සිදු වන වංචා සහ දූෂණ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. අදාළ චංචනික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් කිසිදු දඩුවමකින් තොරව  නැවතත් එම සමිතිවල තනතුරුවලට පත් වීම ඇතුළු ගැටලු පිළිබඳව මන්ත්‍රීවරු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.  පවතින නෛතික දුර්වලතා ඇතුළු අනෙකුත් අඩුපාඩු කඩිනමින් විසඳීම පිළිබඳව අමාත්‍යවරයා කරුණු විමසීම් සිදුකරමින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය .

මහපොළ ශිෂ්‍යාධාර ලබා ගත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංගමයක් අභිනවයෙන් පිහිටුවා ඇති බවත්, ඒ සඳහා දායකත්වය ලබා දෙමින් සියලු ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එක් වන ලෙසත් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව    අනාගත ශිෂ්‍ය ප්‍රජාවේ උන්නතිය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම සංගමයට හැකි වනු ඇති බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කළේය.

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය නවීකරණය කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම, නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව වන කරුණු ඇතුළු මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.

වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ග නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සමූපකාර සංවර්ධන ග නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ  යටතේ පවතින ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.