(සුජිත් හේවාජුලිගේ)

ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශවල පාසල්වල ඩෙංගු කීට වැඩි වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ දැනුම් දී ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සෙනෙවිරත්න මහතා පැවසීය.

මේ තත්වය පාලනය කර ගැනීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් පාසල් බලධාරීන්ට දැනටමත් නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙයට අමතරව සියලුම විශ්වවිද්‍යාලවල මදුරු මර්දනය සඳහාද උපදෙස් මාලාවක් නිකුත් කළ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඩෙංගු පැතිරීම හේතුවෙන් වසා දමා ඇති සෞන්දර්ය හා කලා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර දෙක අවට ප්‍රදේශයේ මදුරු මර්දනය සඳහා සෞඛ්‍ය අංශ සම්බන්ධ කරගෙන විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සෞන්දර්ය හා කලා විශ්ව විද්‍යාලයේ ඩෙංගු පොකුරක් වාර්තා වුවත් සෙසු විශ්වවිද්‍යාල කිසිවෙකත් ඩෙංගු පොකුරු වර්ධනයවී නැති බව ඔහු ප්‍රකාශ කළේය.

බොහෝ විශ්ව විද්‍යාලවලින් ඩෙංගු රෝගීන් හුදෙකලා වශයෙන් හමුවී ඇතැයිද සෙනෙවිරත්න මහතා කීය.

ඩෙංගු පැතිරීම හේතුවෙන් සෞන්දර්ය හා කලා විශ්ව විද්‍යාලය ලබන 13 වැනිදා දක්වා වසා තබනු ලැබීය.

එම විශ්ව විද්‍යාලයෙන් හමුවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36කි.