(සුජිත් හේවාජුලිගේ )

දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000 ක් පමණ පදිංචිව සිටින බව හඳුනාගෙන ඇතත් මේ දක්වා එම ස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකර ඇත්තේ ඉන් පවුල් 3000ක් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී  අනාවරණය වී ඇත.

මේ අනුව අවදානම් කලාපවල පදිංචිව සිටින්නේ යැයි  හඳුනාගත් පවුල් 12,000 ක්  ආරක්ෂිත ස්ථානවල කඩිනමින්   පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  (16)  නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

අගමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන්  ආපදාවන්ට  ලක්වූ ජනතාවට  සහන සැලසීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේදී  පැවති සාකච්ඡාවකදීය.

විපතට පත්වූවන් සඳහා සහන සැලසීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් දැනට  ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව  අගමැතිවරයා මෙහිදී කරුණු විමසා සිටියේය.

ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙකු  පවතින වසංගත තත්වය හේතුවෙන් ඔවුන්ගේම ඥාති හිතමිතුරන්ගේ නිවෙස්වල රඳවා සිටින බවද මෙහිදී  අනාවරණය විය.

හදිසි ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම සඳහා රජය දිස්ත්‍රික් 21 ක් සඳහා දැනටමත් රුපියල් මිලියනය බැගින් මුදල් ලබාදී  ඇති බවත්  මූලික වන්දි ලබාදීමද ප්‍රමාදයකින් තොරව අවසන් කර ඇති බවත් මෙහිදී සඳහන්විය.

අවදානම් තත්ත්වය හඳුනාගනිමින් ඒ අනුව ප්‍රමුඛතාව දෙමින් එම ජනතාව අවදානමෙන් මුදා ගැනීමට සැළසුම් කරන ලෙසද අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය.

නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේදී  ඇතිවන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඊට විසඳුමක් ලෙස අදාළ අමාත්‍යාංශ ඒකාබද්ධව එම ගැටලු නිරාකරණය කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

අධික වර්ෂා තත්වය හේතුවෙන් පස්කඳු කඩාවැටීම, දැඩි සුළං, ගංවතුර, ක්ෂණික ගංවතුර හා අකුණු අනතුරු වලින් මේ දක්වා දිස්ත්‍රික් 21 ක පුද්ගලයින්  26 දෙනෙකු  මියගොස්   පුද්ගලයන් 262,831   දෙනකු ආපදාවට ලක්ව  ඇතැයිද  මේ සාකච්ඡාවේදී සඳහන් විය

බදුල්ල , මහනුවර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, අනුරාධපුරය, කොළඹ, ගම්පහ, කළුතර, දිස්ත්‍රික්කවල  නායයෑම් හා ජල ගැලීම් නිරන්තරයෙන් සිදුවන බැවින්  අවදානම් අවම කිරීමට  නිෂ්චිත පිළියම් යෙදීමටද මෙහිදී අවධානයට යොමු විය.

ආපදා තත්වයන් දිගු කාලයක සිට හඳුනාගෙන ඇති බැවින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන නිෂ්චිත පිළියම් යෙදීම සුදුසු බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් වසා දැමීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

පවතින තත්වයට විසඳුමක් ලෙස එම  ස්ථානයේ එක් මංතීරුවක් වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය යොමු කරන ලෙසත් එසේ නොමැති නම් දැනට හඳුනාගෙන තිබෙන විකල්ප මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා  මෙහි දී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය. 

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන , නිමල් සිරිපාල ද සිල්වා,  පවිත්‍රා දේවි වන්නිආරච්චි, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, එස්.එම්.චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, සරත් වීරසේකර සහ රාජ්‍ය අමාත්‍යවරුන්වන ඉන්දික අනුරුද්ධ, කනක හේරත්, සනත් නිශාන්ත, ජීවන් තොණ්ඩමන්,  රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සුදර්ශන දෙනිපිටිය, වසන්ත යාපා බණ්ඩාර, රාජිකා වික්‍රමසිංහ,  ආචාර්ය සුරේන් රාඝවන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී එස්. සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න  මහත්ම මහත්මීන්  ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.