(දයාරත්න ඇඹෝගම)
අලුත උපන් දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයේ 2019 වසරේ සිට දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් කිරීමට පියවර ගන්නා බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා පවසයි.
මීට පෙර නිකුත් කරන ලද උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳ සිංහල,දමිළ,බර්ගර් ආදී වශයෙන් දරුවාගේ දෙමාපියන්ගේ ජාතිය සඳහන් කර තිබිණි.
එහෙත් 2019 වසරේ සිට දෙමාපියන්ගේ ජාතිකත්වය අලුත උපන් දරුවන් සඳහා ලබා දෙන උප්පැන්න සහතිකයේ ශ්‍රී ලාංකික වශයෙන් සටහන් කිරිමට තීරණය කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා විසින් අනුරාධපුර නැගෙනහිර නුවරගම්පළාත් ප්‍රාදේශිය සභාවේ සභාපති එස්.බී.කුමාරදාස මහතාට ජුලි 12 වැනි දින එවන ලද ලිපියේ සදහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදිපයට අදහස් දක්වමින් අනුරාධපුර නැගෙනහිර නුවරගම්පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.බී.කුමාරදාස මහතා මෙසේ පැවසීය.
අලුත උපන් දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් සුදුසු බවට මා මීට වසරකට පෙර ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළා.
එම ලිපියට පිළිතුරු ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා විසින් ජුලි මාසයේ ලිපියක් එවා තිබුණා.
මගේ යෝජනාව 2019 වසරේ සිට ක්‍රියාත්මක කරමින්, 2019 වසරේ සිට උපත ලබන දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයෙහි දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික ලෙස සටහන් කිරීම සිදු කරන බව එම ලිපියෙන් දන්වා තිබු බවද සභාපති මෙහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිකත්වය දැක්වීම කළ යුතු දෙයක්.! මොකද අන්තවාදී ත්‍රස්තයින්ට පුළුවන් රටේ අසමගියක් ඇති කරන්න. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරන්න ගිය දෙදෙනෙක් හමුදාවෙන් අත්අඩංගුවට ගත්තා ඔබට මතක ඇති, ඔවුන්ට තිබුනේ සිංහල නම්, ඒත් සොයා බැලීමේදී හෙළි වුණේ ඔවුන් මුස්ලිම් ජාතිකයින් බවයි. බැරි වෙලාවත් ඒ ප්‍රහාරය එම පල්ලිවලට එල්ල වුණා නම්, නම යන්නේ සිංහල අයගේ. ඒ නිසා රටේ දැන් ඇති වී තිබෙන සංකීර්ණ තත්වය මුළුමනින්ම මැඩපවත්වා රට ස්ථාවර වී අවුරුදු 10 කට පමණ පසුව ඔය වෙනස හැඳුනුම්පත් වලට කලොත් සාර්ථකයි. නැත්නම් එම වෙනස වර්තමාන ත්‍රස්ත ක්‍රියාවන්ට හවුල් වීමක් වෙනවා.
එහෙම කරන්න හේතුව මොකක්ද? ජාතිය එපා උනේ මොනවා නිසාද? පෙර බුදුවරුන්ගේත් ජාතීන් මොනවාද කියලා අපි දන්නවා. මහාපදාන සූත්‍රයේ හොඳට මෙනෙහි කරන්ඩ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා බුදුවරු ගැන ඔවැනි විස්තර. මම සිංහල. මම අනිත් ජාතීන් එක්ක සුහදව වැඩ කරන කෙනෙක්.
බොහොම හොඳ වැඩක්.
අනිවාර්යයෙන් මේ යෝජනාවට එරෙහි විරෝධතා බලාපොරොත්තු විය යුතුයි, මන්ද එහි ජාතිය වෙනුවට රට යෙදීම. මෙයින් පෙනී යන්නේ කලකට පෙර රථ වාහන නොම්බර වලින් ශ්‍රී අකුර අයින් කල දේ දෙවෙනි කොටසයි. එසේනම් ශ්‍රී ලංකික , සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් , බර්ගර් , මැලේ යනුවෙන් යෙදිය යුතුය. ආණ්ඩුවලට ඔනෑ විදිහට කටයුතු කිරීමට ඉඩ දී මහජනතාව නිහඬව බලා නොසිට අවශ්‍ය පියවර ගත යුතුය, මෙය බුද්ධාගමට මෙන් සිංහල ජාතිය වෙනුවෙන් එන කුමන්ත්රණයක පෙර නිමිති විය හැක.මෙම ප්‍රතිචාරය දේශපාලනයෙන් තොර ජාතිය වෙනුවෙනි. ජය ශ්‍රී .
දැන් ඉතින් මගේ රට මගේ ආගම ඔක්කොම ඉවරයි. දැන් උපදින දරුවට පරම්පරාවෙන් ලැබුන එකම දේත් අහිමි කළා.
එකඟ නැහැ
මේක තේරුම් ගන්න අවුරුදු 71 ක් ගියානේ??
අලුත උපන් දරුවන්ට මාපිය ජාතිකත්වය දැක්වීමේ වෙනසක් " ජාතික උප්පැන්න සහතිකයෙන්ම මෙය ක්‍රියාවට නැංවීමට තීරණය කිරීම ඉතාම හොද කාලෝචිත ක්‍රියාවක් "
මේක නම් කරන්න එපා. මොකද්ද මේ රටට මේ වෙන්නේ. ඇයි මේ නැති ප්‍රශ්න හදන්නේ....
දැනට සිංහල, දෙමළ, මුස්ලිම් කියලා දාන එක හොදයි. මොකද තාම එක නීතියක් නෑනෙ. ඒ නිසා තාම බොරුවට ශ්‍රී ලාංකික දාගෙන අපි අපිවම රවට්ට ගන්න ඕනෙ නෑනෙ. ශ්‍රී ලාංකික නම් එක නීතියක් හැමෝටම තියෙන්න ඕනෙ
මෙය ඉතා හොඳ ක්‍රියාමාර්ගයක්
ඊට වඩා හොඳයිනේ ජාතිය කියන තැන “මනුෂ්‍යා“ කියලා දැම්මා නම්. මොකද දැන් ඔය ඉන්න දේශපාලකයින්ට ඒකත් අමතක වෙලා.
ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ ඒකත් ඉවරයි එහෙනම්..
ජානක මහත්මයාගේ අදහස සමග මමත් එකඟ වෙනවා. මුස්ලිම් පුරවැසියන්ට එක නීතියකුත්, සිංහල, දෙමල, බර්ගර් පුරවැසියන්ට තව නීතියකුත් තියාගෙන ඔය වැඩ කරන්න බැහැ, මුලින්ම සියලුම පුරවැසියන්ට එක පොදු නීතියක් ගෙන එන්න ඕනේ, ඊට පස්සේ පුළුවන් ශ්‍රී ලංකික කියල හැමෝම හදුන්වන්න ඕනෙද නැද්ද කියලා කතාකරන්න
ශ්‍රී ලාංකික නම් එක නීතියක් තිබිය යුතුය
අපට උරුම ජාතියක අනන්‍යතාවයක් තියනවා. ඒක සිංහල දෙමල මොක හරි ඒක අනිවාර්යයෙන් යොදන්න ඕන, බොරුවට ශ්‍රී ලාංකික කියලා දැම්මට රටේ නීති කියක් තියනවද විවිධ ජාතීන්ට විවිධ විදියට සලකන්නේ. වහාම මීට විරුද්දව සියලු ජාතින් පාරට බහින්න ඕන, මොකටද ලැජ්ජා වෙන්නේ සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් කියල කියන්න. මේකටනම් කීයටවත් ඉඩ දෙන්නේ නැහැ
ලෝකයේ තියෙන එකම පුංච් දුපත ශ්‍රී ලංකාව කියන්නේ එකේ අයිතිය සිංහලයට තිබිය යුතුයි ..අන් ජාතීන්ට මේකේ ගැටළුවක් නැනේ ..සුලුජාතින් තමයි සිංහල ජාතිය විනාශ කරන්න එන්නේ ඒ කට සිංහල දේශ පාලකයෝ තමයි වැඩකරන්නේ ..එකට දැන් පරිපාලන ආයතන වල ඉන්න අයත් උදව්කරන බවක් පේනවා ..මේවට අප විරුද්ධ විය යුතුයි ...අපේ අනන්‍ය තාව දෙයියනේ කියල රැකදෙන්න ..අපට ලිඛිතව තියන එකම අයිතිය ඔච්චරයි තවම ..එකත් නැතිකරන්නද මේ හදන්නේ ....
කාවද මේ රවට්ටන්න හදන්නේ? උප්පැන්නේ තිබෙන පුද්ගලයාගේ නමින් ජාතිය හඳුනා ගන්න පුළුවන්.
මේ කරන්නේ රටේ මහා ජාතිය වන සිංහලයාගේ අනන්‍යතාවය නැතිකර දියාරු කිරීමයි. මෙසේ කිරීමෙන් සංහිදියාවක් ඇතිකිරීමට නොහැක. සංහිදියාව පටන්ගන්න ඕනේ මහ ජාතිකයාගේ සිතෙන්. උප්පැන්නේ ශ්‍රී ලංකික වෙලා හරියන්නේ නැත.
අපේ පාලකයෝ කරොත් කරන්නේ ඔය වගේ ගොන් වැඩක්මයි.....
මෙය ලොකු පටලවා ගැනීමක්. ජාති බේද වෙනස් කල යුත්තේ වෙනත් ක්රමයකටය. ජාතිකත්වය දේශපාලුවන්ට හා නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කල නොහැක. මන්ද ජාතිය අනුව ඔවුන් ගේ සංස්කෘතිය වෙනස් කළ නොහැක. ජාතියකට අනන්‍ය වූ ලක්ෂන පවතී. හැමගේ පුරවැසි බව ශ්‍රී ලාංකික විය හැක. නැති ප්‍රශ්න ඇති කිරීමක් විය හැක.
කොහොමත් අපි පහුගිය කාලෙම දැකපු දෙයක් තමයි, විදේශයකදී යම් අකටයුත්තක් සිදුකල කෙනෙකු ගැන සදහන් කලේ "ශ්‍රී ලාංකිකයෙක් " කියලා. එතකොට සේරම පව් අපිට භාර ගන්න පුළුවන්නේ. කොහොම උනත් මම විරුද්ධයි. මගේ ජාතිය සිංහල. මම ඒක වෙන්දේසි දාන්න සුදානම් නැහැ ...
ඉතාම විශිෂ්ඨ තීරණයක්, සිංගප්පූරුවේ හිටපු ජනාධිපති දෙමල ජන වර්ගයේ මහතෙක්, දැන් ජනාධිපති මැලේ මුස්ලිම් කාන්තාවක්, එත් සිංගප්පූරුවේ මිනිස්සු ඒ ගැන වදවෙන්නේ නැහැ ඔවුන්ට ඒ රටේ හැමෝම සිංගප්පූරුවේ ජාතිකයන් පමණයි, අපේ දෙමල මිනිහෙක් ජනාධිපති වේවිද, වර්තමාන තත්වය අනුව නම් අවුරුදු 100ක් ගියත් එහෙම වෙන්නේ නැහැ, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වයෙන්, දක්ෂකම නිසා ඉහලට ගිය සුළු ජාතිකයන් හිටියත් ඡන්ද බලයෙන් නම් එහෙම පත් වෙන්නේ නැහැ, එයට හේතුව මේ රට ඉතාම භයානක විදිහට ජාතීන් ආගම් කුල වශයෙන් බෙදිලා තියෙන නිසයි, මේ රටේ උපන් හෝ වේවා මේ රට මවුබිම ලෙස සලකනවුන් හෝ වේවා අපි හැමෝම මේ රට අපේ මවුරට විදිහට හඳුන්වන්න නම්, අපි හැමෝම මේ රටේ එකම එක ජාතිකයන් වෙන්න ඕන. ඒ ශ්‍රී ලාංකිකයන් ලෙසයි. උතුර දෙමලුන්ගේ, දකුණ සිංහලයන්ගේ නැගෙනහිර මුස්ලිමුන් ගේ කියල බෙදාගන්න ගියාම වෙන්නේ බෙදීම වෛරය වැඩි වෙන එක විතරයි. ඉතින් මෙය කල් ගත වී හෝ ගත විශිෂ්ඨ තීන්දුවක්, මේ තීරණය නිදහස ලැබුණු කාලයේදීම ගත්තා නම් අපේ රට අද බොහෝ වෙනස්.
අපි හිතමු ජාතීන් විදිහට බෙදිලා ඉඳීම සුදුසුයි කියල, එතකොට වෙන්නේ පොදු නීතියකට වඩා ජාතීන් අතර නීති ඇති වීම, දෙමල අයට වෙන නීතියක්, මුස්ලිමුන්ට වෙන නීතියක් සිංහලුන්ට වෙන නීතියක් පහතරට උඩරට්ටුන්ට වෙන නීතියක්, මේ දෙය නිසා අවුලක් බෙදීමක් ඇති වෙනවා කියල නොපෙනේන්න් ජාතිවාදයෙන් අන්ධ වුණු යට පමණයි, අපි පොදු එකම ජාතියක් නම් එකම නීතියක් ස්ථාපනය කරන්න ලෙහෙසියි. එයින් රටේ අවුල් ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් විසඳෙනවා. සුළු ජාතිකයන් ලෙස නොසලකා හැරීමක් වෙනවා කියන්න බැරි වෙනවා, ඉතින් හදවතින් නොව බුද්ධිය පාවිච්චි කරලා හිතලා මේ නරා වලෙන් ගොඩ එන්න බලන්න.
උප්පැන්නේ නෙමෙයි සිතුම් පැතුම් තමයි ශ්‍රී ලාංකික වෙන්න ඔනේ. පුන්චි කාලෙ සිට දැරුවන්ට අපේ රට ගැන හැගීමක් ආදරයක් ඇති කරන්න ඕනේ. ආකල්ප වෙනස් නොකර එක පාරටම උප්පැන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියල දැම්මාම ඉදිරියේදී නැති ප්‍රශ්නත් ඇතිවෙන්න පුලුවන්. ඇමරිකන් කාරයෝ වගේ වෙන්න ඕන කියලා හිතාගෙන වෙන්න ඇති එයාලා කරන මේ වැඩේ කරන්න ඇත්තේ.. රටට ගැලපෙන නිවැරදි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අතනින් ටිකයි මෙතනින් ටිකයි අරගෙන ක්‍රියාත්මක කරලා රට අච්චාරුවක් කරමින් යන්නෙ. අන්තිමට අන්‍යතාවයක් නැති අපතයෝ ටිකක් වගේ වෙයි අපේ රටේ දරුවෝ.
මේ තීරණයට අපි එකඟයි... හැබැයි මේ වගේ සිල්ලර දේවල් කරන්න කලින් තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය, කියන සියල්ල රටේ සිවිල් නීතියට යටත් කළ යුතුයි. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් නිශ්චල භාවයක් නොමැති කාලයක මෙවැනි තීරණ බරපතල සිදුවීම් වලට සහායක් විය හැකියි.
බොහොම හොඳ වැඩක්.
අනාගතේ සිංහල, දමිල හා අනෙක් ජනානුපාත ලබා ගන්නත් බැරිවේවි වගේ
"ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ" එය රැකගන්නට කෙනෙක් අපේ රටේ නැහැ පුතුනේ
දැනට භාවිතා වන උප්පැන්න සහතිකයේ 4 හා 5 තීරු වල සඳහන් වන්නේ දෙමව්පියන්ගේ ජාතිය (Race) මිස ජාතිකත්වය (Nationality) නොවේ. මෙය අදහස් දෙකකි. සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුගේ ම ජාතිකත්වල ශ්‍රී ලාංකික වේ. නමුත් ඔවුන්ගේ ජාතිය සිංහල දෙමළ යෝනක ලෙස වෙනස් වේ. දරුවාගේ ජාතිය තීරණය වන්නේ පියාගේ ජාතිය මතය. විදේශ රටක ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව උපත ලද දරුවකුට නිකුත් කරන පුරවැසි සහතිකයේ ජාතිකත්වය සඳහන් කළද( පුරවැසි පනත අනුව) උප්පැන්න සහතිකයේ සඳහන් කරන්නේ ජාතියයි. වෙනත් රටක පුරවැසිභාව ලබා ගත්තද ජාතිකත්වය වෙනස් වුවත් ජාතිය වෙනස් නොවේ. එබැවින් මෙය ගැටලුවක් විය හැක.
මේක දැන් වත් කරපු එකට මොලේ ඇවිල්ල
හෙනම ගහපන්. ජාතියක් නැති අයට ජාතියක් ජන්මයක් තියෙන වුන්ව පෙන්න බැහැ. ඕකතමයි තිත්ත ඇත්ත. නමුත් අපි අපේ ජාතියට ආදරෙයි. අපි ශ්‍රී ලංකා සිංහල ජාතිකයෝ. ශ්‍රී ලංකාවේ ඉන්නේ සිංහලයෝ. ජාතිය වියුත්තේ සිංහල බෞද්ද සිංහල මුස්ලිම් සිංහල කතෝලික සිංහල හින්දු සිංහලයා යනු ශ්‍රී ලංකාවේ උපත ඇත්තන්ය.
ජාතිකයා කියනුයේ යම් රටක පුරවැසියාටය. ප්‍රංශ ජාතිකයා කියනුයේ ප්‍රංශ රටේ පුරවැසියාටය. අප සිංහල භාෂාවේ ජාතිකයා යන වචනයට වැරදි අර්ථකතනයක් දී ඇත. සිංහල ජාතිකයා නම් සිංහල රටක් තිබිය යුතුය. දෙමල ජාතිකයා නම් දෙමල රටක් තිබිය යුතුය. අප මුලික සිධාන්ත මුල සිටම පටලවාගෙන ඇත. මෙය කල යුතුව තිබුනේ අපට නිදහස ලැබූ ද සිටය. තවත් මුල සිටම කල යුතුව තිබුනේ සියලු පුරවැසියන්ට එකම නීති තබාගැනීමය. මෙමෙ මුලධර්ම නිවැරදි කරගන්නා තුරු අපට අනාගතයක් නැත. ටය
මගේ අනන්‍යතාවය මම නැති කරගන්නේ මොකටද???? උප්පෙන්නේ තියෙන වටිනාම දේ තමයි සිංහල සහ බෞද්ධ කියන එක ඔය විදියට එහෙනම් ලංකික ඕනෙත් නෑ පෘථිවිවාසී වගේ එකක් දැම්ම නම් නරකද?
සම්පත් මහතා ඔවු එක තමයි විය යුත්තේ අපේ ජාතිය ශ්‍රී ලංකික තමයි මොකක්ද එකේ තියෙන වැරැද්ද මම පිටරට යන සෑම වෙලාවකම ඒ රටවලට ඇතුලත් වීමේ පත්‍රිකාවේ පුරවන්නේ ශ්‍රී ලංකික කියල තමයි
මේ වගේ රට සහ ජාතීන් ගණනාවකටම බලපාන තීරණයක් තනිවම ගන්න මේ දෙදෙනාට ඇති බලතල මොනවාද? සාමාන්‍යයෙන් මෙවන් දෙයක් එක්කෝ රටේ චන්දයකදී ප්‍රතිපත්ති ප්‍රකාශයට එක්කරනවා නැත්නම් අඩු ගණනේ ගැසට් කරනවා, මෙහි ස්තීරභාවය කුමක්ද කියලා කවුද දන්නේ. මේ ඇත්තක් නම් මින් පසු ලංකාවේ ජනගහනය ජාතිය (ethnic group) වශයෙන් දැනගන්න ක්‍රමයක් තිබෙනවද?
කාටද ආඩම්බර.