(සමන්ත යහම්පත්)

ඉන්දියාවේ ජායිපූර් නගරයේදී අද (10) අවසන් වූ ‘15 වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා උෆළ්ලේ“ (Jiff) ‘ග්‍රීන් රෝස්‘ සම්මානය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘මාරියා‘ චිත්‍රපටයට හිමිවිය. 

මෙම මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැති මෙම සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කළ ‘මාරියා‘ චිත්‍රපටය මීට පෙර රුසියාවේ ‘යල්ටා ඉයුරේෂන් බ්‍රිජ්‘ අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය සම්මානයත්, වියට්නාමයේ ‘හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය එහි රඟපෑ සත් දෙනා ලබාගැනීමටත් සමත්විය.

මෙවර ‘ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේදී‘ එම සම්මානය අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන හා නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වා යන මහත්වරු ලබාගත්හ. මෙම අවස්ථාවට චිත්‍රපටයේ රංගන ශිල්පියකු වන හේමාල් රණසිංහ ද එක්විය.

මහ මුහුද මැද සම්පූර්ණයෙන් ම රූපගත කළ ‘මාරියා‘ චිත්‍රපටයට නළුවන් පමණක් දායකවීම විශේෂත්වයකි. මෙහි මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, දර්ශන් ධර්මාරාජ්, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර හා සුරන් දිසානායක චරිත නිරෑපණය කරති. 

මෙම චිත්‍රපටය මෙම 14 වැනිදා සිට 20 දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර ආරම්භ වන ‘ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශයටද තොරාගෙන තිබේ.