(රන්ජන් කටුගම්පොල) 

අරගල සමයේදී හිටපු මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලට පහරදීම් වලින් සිදුවූ අලාභහානිවලට වන්දි ගෙවීමේදී අක‍්‍රමිකතාවයන් කළැයි කියන සිද්ධීන් පිළිබඳව අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ආරක්ෂක ඇමතිවරයාට හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා ඇතුළු රටේ ආරක්‍ෂාව බාරව සිටි ඉහළම නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.
අරගල සමයේදී හිටපු මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලට පහරදීම් වලින්  සිදුවූ අලාභ වලට වන්දි ගෙවීමේදී අක‍්‍රමිකතාවයන් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඒ පිලිබඳ සොයා බලා සුදුසු පියවර ගන්න්නැයි ඉල්ලමින් නීතීඥ ආචාර්ය රවින්දනාත් දාබරේ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දැනුම් දෙමින් එහි වගඋත්තරකරුකරුවන්ගේ පෞද්ගලික ලිපිනයට නොතිසි බාරදීමටද පෙත්සම්කාර නීතිඥවරයාට දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව මෙලෙස කරුණු පැහැදිලි කරන ලෙස නියම කරමින් නොතිසි නිකුත් කරන ලද්දේ හිටපු ආරක්ෂක ඇමති ටිරාන් අලස්, හිටපු මහජන ආරක්ෂක ඇමති ප‍්‍රසන්න රණතුංග, හිටපු ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලූගේතැන්න යන මහත්වරුන්ටය.
මේ කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ නොතිසි වගඋත්තරකරුකරුවන්ගේ පෞද්ගලික ලිපිනයන්ට බාරදී අදාළ නොතිසි භාරදුන් බවට මාර්තු 08 වැනිදා අධිකරණයට වාර්තා කිරීමටද අදාළ නීතිඥවරයාට නියෝග කළේය.