(අංජුල මහික වීරරත්න)

අරගල කරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා නව නිර්මාණ පරිශ්‍රයක් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය.

 තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ සහයෙන් මේ පරිශ්‍රයේ  ඉදිකරන බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමුවී නිදහසේ අදහස් හුවමාරුකර ගැනීම මෙන්ම  සාකච්ඡා  පැවැත්වීම සඳහා පසුකම් මෙම පරිශ්‍රයෙහි ස්ථාපිත කරන බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය. 

ඊට අමතරව චිත්‍ර ප්‍රදර්ශන, සංගීත උත්සව පැවැත්විය හැකි ස්ථාන මෙන්ම ආපන ශාලා මෙහි ඉදි කරන බව රත්නායක මහතා සඳහන් කළේය.

 තරුණ තරුණියන්ගේ  දක්ෂතාවලට ආර්ථිකමය වටිනාකමක් ලබාගත හැකි ස්ථානයක් ලෙස මෙම පරිශ්‍රය ගොඩනගන බව කී රත්නායක මහතා ඊට අදාළ සේවා පහසුකම් රජයෙන් ලබාදීමට කටයුතු කරන බවද  කියා සිටියේය. 

අරගලයේ නියුතු තරුණ තරුණියන්ගෙන් බහුතරයක් නව අදහස් ඇති නව නිපැයුම් කළ හැකි පිරිසක් බැවින් ඔවුන්ට තම දක්ෂතා මෙහිදී ඔප් නංවාගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සාගල රත්නායක මහතා කීය.

තරුණ කණ්ඩායමක් තම විරෝධය ත්‍රිමාණ තාක්ෂණයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට යොමු කර අලුත් විරෝධතා සංකල්පයක් ගොඩ නැගූ බව සිහිපත් කළ සාගල රත්නායක මහතා එවැනි නවමු අදහස් ඇති තරුණ තරුණියන්ට මෙම ස්ථානය  දක්ෂතා ලෝකයටම පෙන්විය හැකි ස්ථානයක් වනු ඇතැයි ද කියා සිටියේය.

ලෝකයේ බොහෝ රටවල මෙවැනි ස්ථාන තිබෙන බවත් ඒවා නැරඹීමට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් එන බවත් කී එජාප ජාතික සංවිධායකවරයා පාවෙන වෙළෙද සංකීර්ණ භූමියත් එවැනි ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බව  කීවේය. 

මෙම ඉදිකිරීම් වලට අදාළ සැලසුම කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ තරුණ කණ්ඩායමක් කොළඹ දී හමුවූ අවස්ථාවේදී සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. මෙම සැලසුම සම්බන්ධයෙන් අරගලයේ නිරත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී ඊට ඔවුන්ගේ කැමැත්ත පළ වූ බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් කීවේය.