(සුජිත් හේවාජුලිගේ )

අයිස් මත්ද්‍රව්‍ය ගන්නා දරුවන්ගේ මනස සම්පූර්ණයෙන්ම  විකෘති වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට  පැවසීය.

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් තුළ ආහාරපානවලට ඇති අභිරුචිය ක්‍රමානුකූලව හීනව යන හෙයින්  එහි ප්‍රතිඵලයක් ලෙස ශරීර දුර්වලවී   ප්‍රතිශක්තිය බිඳ වැටීමෙන්  නොයෙකුත්  ලෙඩ රෝගවලට  ගොදුරුවීම අනිවාර්ය  පොදු ලක්ෂණය බවද   ඔහු කීවේය.

මේ හේතුවෙන් දරුවන්ගේ කායික සහ මානසික ශක්තිය අඩපණ වීමෙන්  අධ්‍යාපන කටයුතු මුළුමනින්ම බිඳ වැටෙන බව පැවසූ දීපාල් පෙරේරා මහතා දරුවන්ගේ බාහිර කටයුතු සම්බන්ධයෙන් මවුපියන් විමසිල්ලෙන් සිටීම වැදගත් බවද  සඳහන් කළේය.

අනෙකුත් මත්ද්‍රව්‍යවලට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍යවලට  ඇබ්බැහිවීම වැඩි බවත්  අයිස් මත්ද්‍රව්‍ය ගන්නන්ගේ ආයුෂ කෙටිවීම අනිවාර්ය බවත් ඔහු පැවසීය.

බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් දරුවන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ එමගින් නිදිමත ගතිය අඩුවී මතක ශක්තිය වැඩි වන බවට අසත්‍ය  පතුරවමින්  යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා එය අමූලික අසත්‍යක් බවද  සඳහන් කළේය.

අයිස් මත්ද්‍රව්‍ය  භාවිතයෙන් මතක ශක්තිය බිඳ වැටෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.