මේ වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ සියලු උසස්වීම් හා හිඟ වැටුප් ලබා දී ගැටලුව අවසන් කරන බව අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසු නමුත් මේ වන තෙක් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ උසස්වීම් හා හිඟ වැටුප් ලබා නොදී ඔවුන් රැවටීමකට ලක්කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

2008 ජුලි 01 වැනිදා සිට වසර හයක කාලයක් විදුහල්පති සේවයේ උසස්වීම්ද, 2010 දෙසැම්බර් 31 වැනිදා සිට ගුරුවරුන්ගේ උසස්වීම්ද ලබා නොදීමෙන් 230000 කට ආසන්න ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් නව සේවා ව්‍යවස්ථාව, නව චක්‍රෙල්ඛ නිකුත් කර තිබුණද ඒවායේද ඇති ගැටලු රාශියක් විසදී නැති බවත් පොරොන්දු වූ පරිදි උසස්වීම් ලබා නොදීමට එරෙහිව නව පාසල් වාරයේ සිට සෙසු වෘත්තිය සමිතිද එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවත් මේ සම්බන්ධයෙන් විරෝධය ලිඛිතව අධ්‍යාපන ලේකම්වරයාට මේ වන විට දැනුම් දී ඇතැයි ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවැසීය.