(අංජුල මහික වීරරත්න)

අතුරු අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇත.

කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව නොවැම්බර් 15 ට පෙර ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරු අයවැය යෝජනාවන්ට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සඳහා මෙම කමිටුවක් පත් කර තිබේ.

කේ.ටී. කමල් පද්මසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එන්.කේ.ජී.කේ. නෙම්මවත්ත, ආර්.එච්. රුවිනිස් යන මහත්වරු පත් කර ඇත.

විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මේ වන විට ක්‍රියාත්මක කොට ඇති ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක මගින් අපේක්ෂිත කාර්යභාරය ඉටු කිරීමට සමත් වී ඇත්ද ?

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම පවතින රේඛීය අමාත්‍යාංශවලට සිදු කළ හැකි ද ?

එම අමාත්‍යාංශ දැනට සිදුකරනු ලබන කාර්යයේ ස්වභාවය අනුව එම ව්‍යාපෘති කාර්යාල හෝ ව්‍යාපෘති කළමනාකරණ ඒකක අඛණ්ඩව පවත්වාගත යුතු ද ?

එම ව්‍යාපෘති සඳහා අනුමත සේවක සංයුතියට පරිබාහිරව සේවක බඳවා ගැනීම් සිදුකර තිබේද ?

යන කරුණු ඇතුළුව විධිමත් මහජන සේවාවක් සහ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම වෙනුවෙන් බලපාන අනෙකුත් සාධක හා ආශ්‍රිත කරුණු තිබේ නම් ඒ පිළිබඳවත් මෙම කමිටුව විසින් විශේෂ අධ්‍යයනයක් සිදු කළ යුතු වේ.