(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූයේ යැයි කියන  ලිංගික හිංසන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ අවසන් වාර්තාව  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ  ඉදිරිපත් කෙරිණ.

එම වාර්තාවේ පිටපතක් මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පුස්තකාලයේ තබා ඇති බවද කතානායකවරයා දැනුම් දුන්නේය.

පසුගිය 19 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ තීරණය පරිදි වාර්තාව මෙසේ සභාගත කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති  සහ කළමනාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට විවිධ තාඩන පීඩන හිරිහැර සහ  අසාධාරණකම් සිදුකර  ඇති බව  එම අවසන් පරීක්ෂණ වාර්තාවෙන්  තහවුරු කර ඇත.