(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ බලයේ සිටින පක්ෂය කුමක් වූවත් චීනය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව චීන තානාපති චී චෙන්හොන්ග් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයෙන් ගොඩඒම සඳහා 2021 වසරේ ජූලි මස සිට 2022 වසරේ ජනවාරි මාසය දක්වා චීනය මෙරටට ඉන්ධන සපයා ඇති බව චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පැවැසීය. මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාවට  චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000 ක් ලබා දී තිබුණත් මුදල් ගෙවා ඇත්තේ නැව් 7 කට පමණක් බවත් තවත් නැව් 12 ක් සඳහා මුදල් ගෙවීමට තිබෙන බවත් චීන තානාපති චී චෙන්හොන්ග් මහතා වැඩි දුරටත් පැවසීය.

චීනයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.5 ක මුල්‍ය සහාය ලබාදීම පිළිබඳ සාකච්ඡා මන්දගාමී වීමට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා බලපෑ බව චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියමයන් සහ කොන්දේසි පිළිබඳ දැන ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා පිළිබඳ විමසිල්ලෙන් සිටින බව චීන තානාපති චී චෙන්හොන්ග් මහතා වැඩි දුරටත් පැවසීය.

චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ඒ අනූව ලබාගත් ඉන්ධන සඳහා තව ඇමෙරිකා එක්සත් ජනපද  ඩොලර් මිලියන 390 ක මුදලක් ගෙවීමට තිබෙන බවයි.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපති චී චෙන්ග්හොන්ග් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වැඩිහරියක් සහනදායී ණය බවත් ඉන් බොහොමයක් යටිතල පහසුකම් සංවර්ධනයට සහ පාරිසරික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් සැපයූ ණය බවත්ය.

චීන තානාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ බොහෝ දෙනා කථාකරන "ණය උගුල" මිත්‍යාවක් බවයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා මේ බව කියා සිටියේ චීන තානාපති කාර්යාලයේදී මාධ්‍යවේදීන් පිරිසක් අතර සාකච්ඡාවකදීය.