(අංජුල මහික වීරරත්න)

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සේවා කඩිනමින් හා කාර්යක්ෂමව සැලසීම සඳහා මහරගම  අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර සේවා සපයන ප්‍රධානතම ජාතික සෞඛ්‍ය ආයතනයක් වන මහරගම ජාතික පිළිකා ආයතනය (අපේක්ෂා රෝහල) මගින් ක්‍රියාත්මක කරනු ලබන විකිරණ ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව පුළුල් කරමින්, එම සේවාවන් වඩාත් විධිමත්, ශක්තිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ පසු විපරම් කළමනාකරණ සමාලෝචන රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබාදීමේදී පවතින අවශ්‍යතා හඳුනාගෙන, ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව ඉහළ නැංවීමත්, ප්‍රතිකාර සඳහා පවතින පොරොත්තු කාලය අවම කරමින් රෝගීන්ට කාලෝචිතව ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පුළුල් කිරීමත් මෙහිදී ප්‍රමුඛ අවධානයට ලක් විය. මීට පෙර පැවැති කළමනාකරණ සමාලෝචන රැස්වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ද මෙහිදී විමසා බැලුණු අතර, විකිරණ ප්‍රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම විකිරණ ප්‍රතිකාර සේවාවන් පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නව රේඛීය ත්වරණක යන්ත්‍ර (Linear Accelerator – LINAC) රෝහලට ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය. එම යන්ත්‍ර මගින් විකිරණ ප්‍රතිකාර ලබාදීමේ ධාරිතාව ඉහළ නැංවීම, දැනට පවතින ප්‍රතිකාර සේවාවන්හි කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සහ වැඩි රෝගීන් පිරිසකට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම විකිරණ ප්‍රතිකාර ලබාදීමට පෙර රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා භාවිත කරනු ලබන CT Simulator පහසුකම් විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සම්පූර්ණ කිරීම, වෛද්‍ය උපකරණවල ක්‍රියාකාරීත්වය හා නඩත්තු කටයුතු විධිමත් කිරීම මෙන්ම විකිරණ ප්‍රතිකාර ක්‍රියාවලියට අදාළ අනෙකුත් උපකරණ හා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද කරුණු සාකච්ඡා විය.