(බී. ජී. චතුරංග)

අනුරාධපුර පූජා නගරයේ සදහිරු සෑය අසලදී සහ සාලියපුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මිරිසවැටිය දෙස සිට එකම දිසාවට ගමන් කරමින් තිබූ යතුරු පැදියක් සහ මෝටර් රථයක්, වෙස්සගිරිය දෙස සිට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක පෙරේදා (30) වනදා පස්වරුවේ, සඳහිරු සෑය අසල බුරුම පන්සල ඉදිරිපිටදී මුහුණට මුහුණ ගැටීමෙන් එක් අනතුරක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදු වන අවස්ථාවේදී යතුරු පැදියේ මවක සහ දියණියක් ගමන් කරමින් සිට ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පසු පැදිකාරිය වන මව, ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩවීදිය, ඇලයාපත්තුව  පදිංචි පුංචි බණ්ඩාගේ සිරියාවතී නැමති 60 හැවිරිදි කාන්තාවකි.

අනතුරෙන් යතුරු පැදියේ ගමන් කළ දියණිය, ලොරි රථයේ ගමන් කළ තරුණයන් තිදෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනුරාධපුර - රඹෑව ඒ-20 මාර්ගයේ සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදු වූ  අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  කුරුන්දන්කුලම  පදිංචිව සිටි  ලසිත් හර්ෂමාල් නැමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකි.