
(ගයාන් සූරිය ආරච්චි)
මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී සතුරු ප්‍රහාර මැද අතිශය අවදානම් තත්ත්වයකදී සාමසාධක භටයින් ඇතුළු 14 දෙනකු බේරා ගැනීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායට අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය ඉකුත් (30) දා සමත් වූහ.
පකිස්තානු සාම සාධක හමුදාව එම පිරිස බේරා ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවක ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම අභියෝගය භාර ගනිමින් කළ වීරක්‍රියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රශංසාවට ලක්ව ඇත.
මෙම මෙහෙයුම මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් සතු අසමසම වෘත්තීය නිපුනත්වය සහ නිර්භිතතාවය ලෝකය හමුවේ යළිත් වරක් ප්‍රදර්ශණය කරන ලදි.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (Am dafok) ප්‍රදේශයේ සාමසාධක රාජකාරි මුරසංචාරයක නිරතව සිටි සැම්බියානු බලඇණියේ සෙබළුන් ඉලක්ක කරගනිමින් හඳුනානොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
මෙම ප්‍රහාරය හේතුවෙන් සැම්බියානු සෙබළුන්, සිවිල් වැසියන් සහ එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් තුවාල ලැබූහ.
තත්ත්වය අතිශය බරපතළ වෙද්දී තුවාල ලැබූවන් මුදාගැනීම සඳහා ප්‍රථමයෙන් පාකිස්ථාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කැඳවීමට උත්සාහ කළද පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක විය.
ඒ අනුව සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියා (Force Commander) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය වෙත පැවරුවේය.
තත්ත්වයේ බරපතළකම වටහාගත් ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ ඇතුළු කාර්ය මණ්ඩලය පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ද නොතකා වහාම ක්‍රියාත්මක විය.
ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ ප්‍රධානත්වයෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තු මහතාගේ සහය නියමු දායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් UNO 325P දරන Mi-17 හෙලිකොප්ටර් යානය එදින පෙරවරු 07.30 ට බ්‍රියා (Bria) ගුවන් තොටුපොළෙන් ගුවන්ගත විය.
මෙම කණ්ඩායමට ගුවන් ඉංජිනේරු ලෙස බලපංති සැරයන් හෙට්ටිආරච්චි ලෝඩ් මාස්ටර් ලෙස බලපංති සැරයන් මනෝජ් සහ ගුවන් අවිකරුවන් ලෙස කෝප්රල් විජේතුංග සහ නායක ගුවන් භට අබේසිංහ කටයුතු කළහ.
යානය තුළ සිටි ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායමට (AMET) ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යාදීෂ රත්නසිරිල බලලත් නිලධාරි සුමතිපාල සහ බලපංති සැරයන් රුවන්කුමාර යන නිලධාරින් ඇතුලත් විය.
මුලින් අතිරේක සෙබළුන් පිරිසක් රැගෙන යාමට සැලසුම් කර තිබුණද, සටන් පවතින කලාපයේ තත්ත්වය වේගයෙන් දරුණු අතට හැරීම හේතුවෙන්, ප්‍රධාන අණදෙන නිලධාරියාගේ නියෝගය පරිදි සෘජුවම සටන් බිම වෙත යානය පියාසර කරවීමට නියමුවෝ තීරණය කලහ.
ඒ අනුව පැය දෙකයි විනාඩි දහයක අඛණ්ඩ පියාසර කාලයකින් පසු යානය සතුරු ප්‍රහාර එල්ල වන අතිශය අනතුරුදායක සටන් කලාපයට ළඟා විය. හෙලිකොප්ටර් යානය ගොඩබැස්වීම පවා අනරක්ෂිත වු අතර, සතුරන් කුමන ස්ථානයක සිට ප්‍රහාර එල්ල කරන්නේද යන්න අවිනිශ්චිතව පැවතිණි, කරුණු එසේ වුවත් ජීවිත අවදානම පසෙකලා ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික ගුවන් නියමුවන් යානයේ එන්ජිම පණගන්වා තිබියදීම (With engines running) ඉතා කෙටි කාලයක් තුළ තුවාල ලැබූවන් 14 දෙනෙකු යානයට නංවාගෙන වහාම එම ප්‍රදේශයෙන් නික්මීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd